May 16, 2024

ඇමති, රාජ්‍ය ඇමති මතය බොරු කළ මහජන ආරක්ෂක පනත

September 01, 2021

ජනපතිවරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර තිබෙන්නේ සඟවාගෙන තබා හසුවන ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ජනතාවට ලබා දීම සඳහා බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

එම ධුරය හොබවන ජනාධිපති නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ සීනි , වී සහ සහල් සඟවා තබා එම ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යෑම වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක පනතේ දෙවැනි වගන්තියට අනුව ජනපතිවරයා මෙම පත්කිරීම කළ බවයි.

මහජන ආරක්ෂක පනතට අනුව එම භාණ්ඩ ආනයනය කර ගබඩා වල සඟවා තිබේ නම් ඒවා රජයට පවරා ගැනීමේ බලතල ලැබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

දැනට ක්‍රියාත්මක නීතිය

මෙතෙක් කල් තිබුණේ එසේ සඟවා ගන්නා අයට එරෙහිව රු. 2500 සිට 20000 දක්වා දඩයක් පමණක් නියම කිරීම බවයි සේනාධීර මහතා අවධාරණය කරන්නේ.

මේ අතර අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක නීතිඥ යු ආර් ද සිල්වා මහතා සඳහන් කරන්නේ හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් පසු සියලුම නීති අභිබවා අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලතල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට ලැබෙන බවයි.

නීතිය වලංගු කාලය

එහෙත් හදිසි නීති රෙගුලාසි පනවා එදින සිට දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා එය සම්මත කරගත යුතු බවයි ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එසේ නොමැති වුවහොත් එය දින 14ක් ඇතුළත දී බල රහිත වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ජනපතිවරයා මෙම මස 1 වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිගේ මතය

ඉතිහාසයේ කෙදිනකවත් නොවූ විරූ ලෙස සීනි කිලෝ 1ක මිල රු.200ද ඉක්ම වූ අතර එය පාරිභෝගිකයාට කරන බරපතළ අපරාධයක් මුත් තමන්ට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා දිගින් දිගටම මාධ්‍ය හමුවේ සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීති රීති තවමත් පාර්ලිමේන්තුවේ අනුමත වී නැති බව ඊට හේතුව ලෙස රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා..

කැබිනට් ඇමතිගේ ස්ථාවරය

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මීට ටික දිනකට පෙර කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙවැනි වසංගත තත්වයක් හමුවේ මිල පාලනය කිරීම හෝ අසාධාරණ මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට දඬුවම් පැමිණවීම කළ නොහැකි බවයි.

මේ වන විට සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 12 ,555 ක් තමන්ට කිසිම පියවරක් ගැනීමට නොහැකි බව සඳහන් කළ අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඇති පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 14:11