May 15, 2024

හෙට සිට බන්දුලගෙන් ගෙදරටම සහන මල්ලක්!

රුපියල් 1,998ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට සිට සතොස හරහා සති දෙකක කාලයක් ජනතාව වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සාමාන්‍යයෙන් වෙළඳපොලෙහි රුපියල් 2600කට වඩා වැඩි මිලකට අලෙවි වන භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල දිවයින පුරා සතොස ශාඛා මගින් හෙට සිට ලබාගත හැකියි.

සතොස අළෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන මෙම "1998 සහන මල්ල" වැඩසටහන හුදෙක්ම පාරිභෝගික ජනතාව වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළගණන් යටතේ ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බවත්, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වා ලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ක්‍රියාත්මක වන වැඩසටහනක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම සතොස අළෙවිසැල් තුළ මේ දිනවල පවතින අධික භාණ්ඩ ඉල්ලුම අනුව, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම සඳහා අවශ්‍ය තොග ඒ ඒ අළෙවිසැල් වලට ලඟා වීම කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් භාවිතා කොට, ඒ ඒ අළෙවිසැල් තුළ පවතින භාණ්ඩ තොග පිළිබඳ දත්ත ස්වයංක්‍රීයව අදාළ තොග ගබඩා වෙත යොමු වීමට ක්‍රමවේදයක් සකස් කොට, සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැර වූ වඩා වේගවත් ක්‍රියාවලියක් තුළින් අවශ්‍ය භාණ්ඩ තොග ඒ ඒ අළෙවිසැල් වෙත ලබා දීමට අවශ්‍ය නවීන ක්‍රමවේද සකසා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)