May 07, 2024

සජිත් පිලේ බෝවෙන ලෙඩේ - මුලින් "43 වැනි සේනාංකය": දැන් "අපි ශ්‍රී ලංකා" - හෙට?

සමගි ජන බලවේගය තුළ සිටින මන්ත්‍රීවරුන් ඊට පරිබාහිරව වෙනත් දේශපාලන බලවේග ගොඩ නැගීමේ රැල්ලක් ඇති වී තිබෙනවා.

එම රැල්ලට ආරම්භය දුන්නේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයායි.

අලුත්ම රැල්ල වෙල්ගමගෙන්

එම රැල්ලට අලුතින්ම එක් වන්නේ කුමාර වේල්ගම වෙල්ගම මන්ත්‍රීවරයායි.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රණවක මන්ත්‍රීවරයා ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගයට පැමිණියද එහි සාමාජිකත්වය නොගෙන "43 සේනාංකය නමින්" නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් එම ව්‍යාපාරය ව්‍යාප්ත කරමිනුයි සිටින්නේ.

43 වැනි සේනාංකයේ අර්බුදය

"43 වැනි සේනාංකය" මුල් කොටගෙන මේ වනවිට සමගි ජන බලවේගය තුළද යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රකට කරුණක්.

මෙවන් පසුබිමක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද අපි ශ්‍රී ලංකා"  පක්ෂයක් නමින් පිහිටුවීමට සූදානමින් සිටින්නේ.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය තුළ කටයුතු කරන්නේ "නව ලංකා නිදහස් පක්ෂය"පක්ෂයේ නායකයා ලෙස සන්ධාන ගත පාර්ශවයක් ලෙසයි.

මේ නිසා වෙල්ගම මන්ත්‍රීවරයාද සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන නැහැ.

හිටපු ජනපතිනියගේ සෙවනැල්ල

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් "අපි ශ්‍රී ලංකා" පක්ෂය සැබෑ බණ්ඩාරනායකවාදීන් වෙනුවෙන් ගොඩනගන බව වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ වත්මන් ශ්‍රී.ල.නී.ප ය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී බණ්ඩාරනායක ප්‍රතිපත්තීන් පාවා දී තිබීම ඊට හේතු ලෙස දක්වමින්.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ "43 වැනි සේනාංකය" හේතුවෙන් සමගි ජන බලවේගය තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙන පසුබිමක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද තව නව පක්ෂයක් පිහිටුවීම සමගි ජන බලවේගය තුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් වේද යන්න නුදුරේම දැක බලාගන්නට පුළුවන්.

පොදු අපේක්ෂක බලාපොරොත්තුව

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙන්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද මීළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයාට එරෙහි පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවට රාවයන්ද තිබෙනවා.

එහෙත් ඔවුන් දෙදෙනාම මේ වනවිට මන්ත්‍රීධූර දරන සමගි ජන බලවේගයේ මීලඟ ජනපතිවරණ අපේක්ෂකයා වන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා බව දැනටමත් එම පක්ෂය තීරණය කොට අවසන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 July 2021 12:42