May 11, 2024

චම්පික ගැන සජිත් පාර්ශවය පැහැදිලි තීන්දුවක

සමගි ජන බලවේගය තුළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ අනාගතය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශ්වය පැහැදිලි තීන්දුවක සිටින බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

විවිධ හේතු දක්වමින් පාථලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට සමගි ජන බලවේගය තුළ වගකීමක් හෝ තනතුරක් ලබා නොදෙන්නේ එම තීන්දුව මත බවද දැනගන්නට තිබෙනවා.

සජිත්ගෙ ඔළුවට තදින්ම කා වද්දලා

මීළඟට පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයක මීළඟ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ එම අපේක්ෂකත්වයට ප්‍රධානතම අභියෝගය වෙතැයි සජිත් ප්‍රේමදාස හිතවාදී පාර්ශ්වය විශ්වාස කරන්නේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාය.

ඒ බව සජිත් ප්‍රේමදාස හිතවාදීන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඔළුවට තදින්ම කාවද්දා තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතාද එම අදහස තදින්ම විශ්වාස කරන බව දැනගන්නට තිබෙනවා.

ප්‍රශ්නය විසඳන්නයැයි ජේෂ්ඨයන්ගෙන් කළ ඉල්ලීම

පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාද මීළඟ ජනපතිවරණයේදී රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණක් වන අතර ඔහු මහ ලේකම් ධුරය දැරූ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූයේද ඉදිරි දේශපාලන ඉලක්කය සඳහා එහි තිබෙන ජාතිකවාදී ලේබලයෙන් ඉවත් වීම සඳහාය.

සමිති ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පක්ෂය තුළ තමන්ට දක්වන කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳව පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන කිහිපදෙනෙකු සමගද සාකච්චා කොට ඇති අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කර දෙන ලෙස ඉල්ලීම්ද කොට තිබෙනවා.

චම්පිකව අවතක්සේරුවට ගන්න එපා

එම ඉල්ලීම් අදාල පාර්ශව විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙන්නේ "චම්පිකව අවතක්සේරුවට ගන්න එපා සහ අමනාප කරගන්න එපා" යන පණිවිඩයද ඔහුට ලබා දෙමින්.

කවුරු කුමන පණිවිඩ ගෙන ආවත් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තුළ තිබෙන ස්ථාවරය වෙනස් නොවන බවයි දැනගන්නට තිබෙන්නේ.

විශේෂයෙන්ම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනපතිවරයා කිරීමට කටයුතු කරන්නේද යන ප්‍රශ්නයට කොයිම අවස්ථාවකවත් සෘජු පිළිතුරක් නොදීම මෙන්ම ඔහු විසින් ගොඩනඟා පවත්වාගෙන යන "43 සේනාංකයේ" වැඩ පිළිවෙළද සජිත් ප්‍රේමදාස පාර්ශවයේ සැකය තහවුරු කිරීමට හේතු වී තිබෙනවා.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එල්ල කරන පීඩනය මත ඔහු සමගි ජන බලවේගය ඉවත්ව යනු දැකීම සජිත් ප්‍රේමදාස පාර්ශවයේ බලාපොරොත්තුව බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 June 2021 13:13