May 14, 2024

ආණ්ඩුවේ තීන්දුවෙන් තුන් බියක් අතළග - රනිල්ගෙන් පසු සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ ක්ෂණික තීන්දුව හේතුකොට ගෙන අපේ රටේ සමස්ත ගොවි ජනතාවත් පොදුවේ මුළු මහත් ජනතාවත් බරපතල පීඩාවකට ලක්වන බවත් මෙය ආණ්ඩුව විසින් ගනු ලැබූ අත්තනෝමතික අඥාන තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද(10) මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මෙම තීන්දුව හේතුවෙන් රටතුළ තුන් බියක් ඇතිවීමේ අවධානමට ලක්වන බවයි.

කාබනික පොහොර භාවිතය ක්ෂණිකව කළ හැක්කක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රමානුකූලව කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාව යොමුකර, එය සාර්ථක වූ පසු රසායනික පොහොර නවතා දැමීම ප්‍රායෝගික බවයි.

එතෙක් ගුණාත්මක රසායනික පොහොර සහනාධාරය ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය.

"කෘෂිකර්මාන්තයට පොහොර තහනමක් දැමීම නිසා රට තුළ බරපතළ ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ හරහා meta analysis හරහා ඔප්පු වෙලා තිබෙනවා මේ රටේ දේශීය ආහාර නිෂ්පාදනය 20% සිට 40% දක්වා අඩු වන බවට. මේ තත්ත්වය තුළ රට තුළ ආහාර සුරක්ෂිතභාවය පළුදු වෙනවා. රට තුළ සාගින්ක් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්ථාව වර්ධනය වෙනවා. විශේෂෙන්ම මේ කාබනික පොහොර වලට පමණක් යොමුවීම තුළ රට තුළ ඇතිවන ආහාර හිඟයට කුමක්ද පිළියම ? පැහැදිලිවම අප කළ යුත්තේ බාල පොහොර යෙදවීම පළවෙනි පරම්පරාවේ බාල අඩු මිලට ගන්න පොහොර යෙදවීම අඩු කරල දෙවැනි තුන්වැනි පරම්පරාවේ ඉහළ ප්‍රමිතියේ පොහොර යෙදවීමයි. නියමිත මාත්‍රාව එම පොහොර යෙදවීම ක්‍රියාත්මක කිරීමයි. නොමිලේ පොහොර ලබාදීමේ නාමයෙන් බාල පොහොර ගෙන්වමින් රට තුළ ක්‍රියාත්මක වන පොහොර සූදුව වහා නතර කළ යුතුයි. ඉහළ ප්‍රමිතියේ පොහොර ලබාගැනීමට සහ නියමිත මාත්‍රා යෙදවීමේ ක්‍රමයක් නිර්මාණය කරන්නට රජය කටයුතු කරන්නට ඕන. ඒ වගේම ලෝකය දිහා බැලුවොත් රටවල් දාසයක් පමණක් තමන්ගෙ කාබනික පොහොර නිෂ්පාදනය රටකට 10% බැගින් නිපදවන්නට සමත්වෙලා තිබෙනවා. එ රටවල් 16ක් පමණයි. ඔස්ට්‍රියාව , සමෝවා, ලිච්ටෙන්ස්ටයින් යන රටවල්. අපේ රටේ දැනට කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව 1% පමණයි. අපිට අහන්නට ලැබෙනවා මේ ඌනතාවය පිරිමහ ගන්නට පිටරටින් ගෙන්වන්නට යනවා කියලා කාබනික පෝර. කොහෙද පිටරටවල් වල නිෂ්පාදන ධාරිතාවයක් තිබෙන්නේ අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය 100% කින් සපුරාලන්න. ඒක මිථ්‍යාවක්. ඒක ගොවියා රැවටීමක්. එපමණක් නොවෙයි පිට රටවල් වලින් කාබනික පොහොර ගෙන එනකොට ජෛව විවිධත්ව ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒවගේම එම පොහොර වල බැර ලෝහ ප්‍රශ්න ,ගුණාත්මකභාවයේ ප්‍රශ්න රැසක් තිබෙනවා. කවුද මේවට වගකියන්නෙ ? ඇත්ත වශයෙන්ම ගොවියාට මේ තහංචිය දැමීම තුළ මේ රජය කරන්නේ තමන්ට ලැබුණු ජනවරම පාවාදීමක්. ගොවියා මේ රටේ තව තවත් දරිද්‍රතාවයට ඇද වැට්ටවීමක්. සිදුවිය යුත්තේ කුමක්ද ? බාල පොහොර ගෙන්වීම නවත්තලා උසස් ප්‍රමිතියේ දෙවැනි දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ පොහොර ගෙන්වලා ,ඒවා නොමිලේ ලබා දීලා නියමිත මාත්‍රාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමික වැඩසටහනක් කෘෂි ව්‍යාප්ති ව්‍යාපාර හරහා මේ දෙය විද්‍යාත්මකව සිදුකිරීමයි.

"කාබනික පොහොර හඳුන්වා දීම ක්‍රමිකව ක්‍රියාත්මක වෙන්නට ඕන. කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණත් සමග මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ඕන. නියමිත යෙදවීම් නියමිත මාත්‍රා යෙදවීමේ ක්‍රියාදාමයක් නිර්මාණය කරන්නට ඕන. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොහොර අපේ රටට ගෙන්වන්නට ඕන. ඒ නිසා මේ රජයට මම යෝජනා කරනවා කරුණාකරලා අපේ රටේ ගොවිය අනාථ කරන්නට එපා. කරුණාකරලා අපේ රටේ තුන් බියක් ඇති කරන ක්‍රියාදාමයට දායක වන්නට එපා. කොරෝනා වසංගතය තුළ රට අනාථ වෙලා තිබෙන්නේ. රට අරාජික වෙලා තිබෙන්නේ. මේ වසංගතය තුළ සාගින්නක් නිර්මාණය කරන්නට කටයුතු කරන්නට එපා. තමුන්නාන්සේලා ගත් අඥාන තීන්දුව ආපහු හරවගන්න. අදූරදර්ශි තීන්දුව අකුලා ගන්න. විද්‍යාත්මකව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කරලා කාබනික පොහොර භාවිතය ක්‍රමිකව කාල සටහනක් අනුව ඉදිරිපත් කරන්නට කටයුතු කරන්න. මේ රටේ ගොවි ජනතාව වළපල්ලට ඇද දමන්න එපා කියලා මං ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දුව අරගෙන මේ අදූරදර්ශී යෝජනාව හකුලා ගන්න කියලා මම රජයට ප්‍රකාශ කර සිටිනවා." යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(4 votes)