May 15, 2024

"ඇමතිතුමා කියන දේවල් මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ" - ඇමැති බන්දුලට ආණ්ඩුවෙන්ම විරෝධය

සිංහල -හින්දු අලුත් අවුරුදු සමයේදී බඩු මිල බඩු මිල පහත හෙලිය යුතු බවට දැඩි බලපෑමක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් විෂයභාර බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා වෙත එල්ල වී ඇති බැව් ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගියදා සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සරත් වීරසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, මධුර විතානගේ යන ආණ්ඩු පක්ෂ නියෝජිතයින් ඊට මූලිකත්වය දී තිබේ.

බඩු මිල ප්‍රශ්න කතා කරද්දි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තුළ උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර එය සමනය කිරීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මැදිහත් වී ඇති අතර පොදුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබෙන්නේ අවුරුදු සමය ලං වන විට ජනතාවට දැනෙන අයුරින් බඩු මිල අඩු විය යුතු බවය.

විවිධ සහන පිළිබඳ ආර්ථික න්‍යායන් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බව පෙන්වා දී ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා ජනතාව දන්නේ බඩු මිල වැඩි කියන එක පමණක් බව ද සඳහන් කොට තිබේ.

වගකිව යුතු අය එහෙට මෙහෙට බෝලය පාස් කර කර සිටීමෙන් ඵලක් නොවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ වෙළඳ අමාත්‍යවරයා හා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර බඩුමිල සම්බන්ධයෙන් එකිනෙකාට වගකීම පැවරීමේ ක්‍රියා පිලිවෙත නතර කළ යුතු බව දෙදෙනාටම නොකියා දන්වමිනි.

නම සඳහන් නොකළත් තමන්ට එල්ල වූ චෝදනාවට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කොට තිබෙන්නේ බඩු මිල පාලනය කිරීම තමන්ට කළ නොහැකි බවත් එය කළ යුත්තේ වෙළෙද අමාත්‍යවරයා බවත්ය.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද තමා බඩු බඩු මිල අඩු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කොට ඇති අතර ඊටද පිළිතුරු දීමට නැගී සිටි නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියන දේවල් මහ පොලොවෙ ක්‍රියාත්මක නොවන බවය.

Rate this item
(0 votes)