April 30, 2024

"මම පත් කරපු මගේ ඇමති මට ඔක්කොම පැටෙව්වා" - හිටපු ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන මතභේදාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳ විවාදයට සම්බන්ධ නොවන ලෙස තමාගෙන් බොහෝ අය ඉල්ලා සිටි බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා එම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පිළිබදව ජනගත වී තිබෙන මතය කුමක්ද යන්න පිළිබඳව තමා දන්නා බව ද හිටපු ජනපති පෙන්වා දෙයි.

ඊට ප්‍රධාන හේතුව පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසු දින තමාගේ ආණ්ඩුවේ තමා පත් කරපු කැබිනට් ඇමතිවරයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තබා මේ ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන සිටි බවත් මෙම ප්‍රහාරයට ජනපතිවරයා වගකිව යුතු බවත් කිව්ව බව හිටපු ජනපතිවරයා  සංවේදීව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

ඒ හරහා සමාජය තුළ මේ ප්‍රහාරය ගැන තමන් දැන සිටි බවත් උවමනාවෙන්ම ඒ වගකීම මඟ හරිමින් තමා තමාගේ වගකීම හා යුතුකම හරි හැටි ඉෂ්ට කර නොමැති බව කියන මතය සමාජ ගත කළ බවට හිටපු ජනපතිවරයා චෝදනා කරයි.

ඒ නිසා තමාගේ ආණ්ඩුවේ තමාම පත්කළ ඇමතිවරු කිහිප දෙනෙක් ජනගත කළ මෙම අදහස මත පාස්කු ප්‍රහාරය ගැන කරුණු දැනගෙන තමා පියවරක් නොගත් බවට රටේ ජනතාව තුළ තමා පිළිබඳව වූ වැරදි මතයක් ගොඩ නගා තිබෙන බව හිටපු ජනපති පෙන්වා දෙයි.

ආවේගයෙන් මෙන්ම හැඟුම්බරව පාර්ලිමේන්තුව ඇමතූ හිටපු ජනපතිවරයා විටක වතුර වීදුරුවක් පානය කරමින් සිය කතාව දිගටම කරගෙන ගිය අතර එහිදී සිය දේශපාලන ජීවිතයට වසර 53ක් පිරෙන බවත් ඒ කාලය තුළ අත්දැකීම් රැසක් ලබා තිබෙන අතර නින්දා, අපහාස, ගල්මුල්, විවේචන සියල්ල හොඳින් අත් විඳ තිබෙන බවද අවධාරණය කරයි.

සිය ජීවිතයට 5 වතාවක් මරණීය තර්ජන එල්ල වූ බවත් පෙන්වා දුන් හිටපු ජනපතිවරයා තමන්ව ඝාතනය කිරීමට පැමිණි ඇතැමෙක් මේ වන විට මිය ගොස් ඇති බවත් ජීවත්ව සිටින කෙනෙකුට තමා ජනපති සමාව ලබාදී යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇති බවද සඳහන් කරයි.

බොරුව එක දිගට කීමේදී එය ගොබෙල්ස් න්‍යායට අනුව ඇත්තක් වන බවද පෙන්වා දෙන හිටපු ජනපතිවරයා බුදුන් වහන්සේගේ දේශනාවක්ද පදනම් කරගෙන උපහරන කීපයක්ද ඉදිරිපත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 10:09