May 10, 2024

හිටපු ජනපති පියවරක් ඉදිරියට - ශ්‍රීලනිපය වෙනම ගමනකට සූදානම් කරයි

 ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තනියම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වෙතැයි යන පදනම තුල සිටිමින් ඒ සඳහා නාමයෝජනා ලබාදීමට සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා නාම යෝජනා එකතු කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ කරුණු හෙළිදරව් කළේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රීලනිපය තනියම තරඟ කිරීමට සූදානම් වන බවට යන රාවය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා නව ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන්නේ නම් කොට්ඨාස සඳහා ඉදිරිපත් වන ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙන්ම සමානුපාතික ලැයිස්තු සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයින් තීරණය කිරීම සඳහා ශ්‍රීලනිපයේ නව නිලධාරි මණ්ඩලය නාමයෝජනා කැඳවීම මේ වන විටත් ආරම්භ කොට ඇති බව තහවුරු කරයි.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට කැමති ශ්‍රීලනිප සාමාජිකයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්, විද්වතුන්, වෘත්තිකයන් හා කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල බොහෝ දෙනකුට නාමයෝජනා සඳහා අයදුම් ඉදිරිපත් කරන ලෙස ආරාධනා කොට තිබෙන බවද මහාචාර්යවරයා හෙළිදරව් කරයි.

මේ වන විටත් අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ඉල්ලීම් රැසක් ලැබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉදිරියේදී නාමයෝජනා කමිටුවක් පත් කොට ඒ මගින් අපේක්ෂක ලැයිස්තු සකසන බවද සඳහන් කරයි.

ශ්‍රීලනිපය තනිව තරග කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නැති බව ද පෙන්වා දෙන මහාචාර්යවරයා ආණ්ඩුව තුළ ශ්‍රීලනිපයට දක්වන කුඩම්මාගේ සැලකිල්ල මත තනියම මැතිවරණයට ඉදිරිපත්වීමේ අභියෝගයක් පැමිණියහොත් ඊට මුහුණ දීම සඳහා දැන්ම සිට සූදානම් වන බවද සඳහන් කරයි.

මෙම කටයුත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය මත සිදුවන බවද මහාචාර්යවරයා අවධාරණය කරයි.

Rate this item
(5 votes)
Last modified on Sunday, 21 March 2021 09:06