May 14, 2024

උසාවියට පිටින් මිනීමරන්න දෙන්න බෑ, ඇයි ටෙස්ට් නොකළේ ? කවුද වැලිකඩින් මහරට සිරකරුවන් එව්වේ ?

December 03, 2020

මහර බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් රජයේ ඇතැම් ඇමතිවරුන් පාර්ලිමේන්තුව නොමඟ යැවීමට උත්සාහ කරන බවත් මෙහි මූලාරම්භය වී ඇත්තේ කොවිඩ් රෙගුලාසි නොතකා වැලිකඩ බන්ධනාගාරයෙන් මහර බන්ධනාගාරයට සිරකරුවන් 120 දෙනෙකු මාරුකර යැවීමත් ඔවුන් හරහා කොවිඩ් පොකුරක් නිර්මාණය වූ පසුව රැඳවියන් කොවිඩ් පරීක්ෂණ ඉල්ලා සිටියදී එය නොසලකා හැරීමත් නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඒ සිදුවුණු සිද්ධිය තුළින් මේ වනවිට ජීවිත 11ක් අහිමි වෙලා තියෙනවා. 105ක් තුවාල වෙලා තියෙනවා. මේ සිද්ධිය පටන් ගන්නට ප්‍රධානතම හේතුව වුණේ එම බන්ධනාගාරයේ 183ක කොවිඩ් පොකුර. මේ වනවිට අපට දැනගන්නට තිබෙනවා - මේ ගැන ඔබතුමා විමසලා බලන්න - කොවිඩ් රෙගුලාසිවලට පටහැණිව වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 120ක් නොවැම්බර් 10 වෙනිදා මහර බන්ධනාගාරයට ගෙනයාම තුළ තමයි ඒ 183ක පොකුර නිර්මාණය වෙලා තිබෙන්නෙ. 

බන්ධනාගාර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ කොවිඩ් රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයාගේ විරෝධතාවයට පවා ඇහුන්කන් නොදී යවපු නිසා තමයි මේ කොවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයේ නිර්මාණය වෙලා එයින් උද්ගත වුණු තත්වය තුළ PCR පරීක්ෂණ ඉල්ලලා රැඳවියන් උද්ඝෝෂණය කිරීම තුළ මේ මහා ඛේදවාචකය නිර්මාණය වෙලා තිබෙන්නෙ.

එනිසා ගරු කථානායකතුමනි, මෙතන කාටවත් ඇඟිලි දික් කරනවා නෙවෙයි. මේ කවුද කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළේ ? කොහොමද වැලිකඩින් 120ක් මහරට යැව්වෙ රජයේම රෙගුලාසිවලට සම්පූර්ණයෙන් පටහැණිව ? මම ගරු කථානායකතුමාගේ අවධානය යොමු කර සිටිනවා, මේ සිද්ධ වෙලා තියෙන්නෙ ඛේදවාචකයක්. ජීවිත අහිමිවෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම බහුතරයක්, 80%ක් පමණ සිටින්නේ රිමාන්ඩ් සිරකරුවන්. ඇප අපේක්ෂාවෙන්. උසාවියෙන් වැරදිකරුවන් කරපු සිරකරුවන් සුළුතරයක් සිටින්නේ. 

ඒවගේම මං ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂ ගණනාවක් අපේ රටට ගෙනල්ලා තිබෙන මොහොතක රැඳවියන් පරීක්ෂණ බලාපොරොත්තුවෙන් සිටිද්දී - මොකද බන්ධනාගාර පාලන අංශයේ කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියලා තිබෙනවා PCR පරීක්ෂණ ඉල්ලලා තමයි මේ උද්ඝෝෂණය, ඝට්ටනය සිද්ධ වෙලා තිබෙන්නෙ කියලා - ඒවා කරන්න තිබුණා. මේ බන්ධනාගාරය තුළ ඝාතන සිදුවෙලා තිබෙනවා. 

රජයේ පිළිවෙත වියයුත්තේ නීතියේ ආධිපත්‍ය අනුගමනය කිරීම. එහෙම නැතුව මේ සභාවෙම කියවුණා මත්පෙති නිසා, මොකද්ද රිවස් පෙත්තක් ගැන කතාවුණා, ඒක සම්පූර්ණයෙන්ම සභාව නොමඟ යැවීමක්. එහෙම දෙයක් නෙවෙයි සිදුවෙලා තිබෙන්නෙ. වැලිකඩින් කොවිඩ් රෙගුලාසි නොතකා මහර බන්ධනාගාරයට 120ක් යැවීම තුළින් තමයි කොවිඩ් පොකුර නිර්මාණය වෙලා මේ සිද්ධිය ඇතිවෙලා අද වෙනකොට 11ක් මැරිලා. 

ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනෙ, නමුත් උසාවි ක්‍රමවේදයට පිටින් මිනීමරණ එක නීතිය නෙවෙයි. ඒ නිසා මේක ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න" යනුවෙන් ඒ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

Rate this item
(0 votes)