April 29, 2024

කොරෝනා මර්දනය ගැන එදා අපි කියපු හැමදේම අද ඔප්පු වෙලා - දැන්වත් මේක හරියට කරන්න - සජිත්

November 01, 2020

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මුල පටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී, යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ නමුත් තමන් එදා කී සියලු දේම අද වනවිට ඔප්පු වී ඇති බවත් දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව නොදී දැන්වත් කොරෝනා මර්දනය නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අද වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10000 ඉක්මවලා ගිහිල්ලා 20 වැනි මරණයත් සිද්ධ වෙලා තියෙනවා. අපි ආපහු හැරිලා බැලුවොත් ඔක්තෝබර් මුල මේ කොරෝනා දෙවැනි රැල්ල නිර්මාණය වෙන්න පෙර හිටියෙ ආසාදිතයින් 3388ක් වැනි ප්‍රමාණයක්. අද වනවිට සති හතරක් ඇතුළත එය 7000කින් වැඩිවෙලා, 10000 ඉක්මවා ගිහින්. මං අහන්න කැමතියි පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගෙන්, තවමත් සමාජ ව්‍යාප්තියක් සිදුවෙන්නෙ නැතෙයි කියලා ඔබතුමිය කියනවාද ? පාර්ලිමේන්තුව තුළ මම යෝජනා කළා කොරෝනා මර්දන වැඩසටහනේ ගැසට්ටුව රටේ හැමතැනකටම එක හා සමානව බලපානවයි කියලා."

"එහිදී පවිත්‍රා මැතිනිය කිව්වා පාර්ලිමේන්තුව පොදු තැනක් නෙවෙයි, ඒක පාර්ලිමේන්තුවට බලපාන්නෙ නැතෙයි කියලා. නමුත් පාර්ලිමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වැළඳීමෙන් පසුව මොකක්ද වුණේ ? දින දෙකක් පාරිලිමේන්තුව වහලා විෂබීජහරණය කළා. එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා. දේශපාලන ආශාව රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිහිල්ලා දේශපාලන ඉලක්ක සම්පූර්ණ කරගැනීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය බවට පත්වුණා. දැන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ අඟහරුවාදා දවසේ ඉතාම සීමිත කාලයක් පමණයි. 20 සම්මත කරගන්න කොරෝනා ප්‍රශ්නයක් වුණේ නෑ, දින ගණනක් රැස්වුණා. දැන් කොරෝනා මර්දන වැඩසටහන සෞඛ්‍ය ඇමතිනියගේ මූලිකත්වයෙන් අසාර්ථකව ක්‍රියාත්මක වෙද්දී පාර්ලිමේන්තුව රැස්වෙන්නේ සතියේ එක දිනයයි. මෙතනින් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි වර්තමාන රජය කොරෝනා මැඬපැවැත්වීමට වඩා තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම රටේ ප්‍රමුඛතාවය බවට පත්කරගෙන තිබෙනවා." යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 31 October 2020 20:01