May 15, 2024

මේ දේශපාලන ටෙලිනාටක නවත්වා පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න - සජිත්

වත්මන් ආණ්ඩුව ජනතාව මුලාකිරීම සඳහා දේශපාලන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ඔවුන්ම තිර රචනය කර, ඔවුන්ම රඟපා පෙන්වමින් සිටින බවත් රටේ ජනතාව ජීවන බරින් මිරිකෙමින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති සමගි ජන බලවේගයේ පක්ෂ යාන්ත්‍රණය පිහිටුවීමේ වැඩසටහනට එක්වෙමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"හිතවත් මිත්‍රවරුනි, සමගි ජන බලවේගය අපේ දේශපාලන ගමනේ ග්‍රාමීය, නාගරික, කුඩා ගම්මාන, උප නගර යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් මේ දින දෙකේ වයඹ පළාත්සභා බලප්‍රදේශයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වන මොහොතේ ඉතාමත්ම සතුටු වෙනවා අශෝකාරාම විහාරස්ථානයට පැමිණිලා අපි ආරම්භ කරපු සිසු දහස් සෙවණ වැඩසටහනේ දහම් පාසල් ශාලාවකුත් සිසු අයිතියට පත්කරලා මේ විහාරස්ථානය වැඳපුදා ගන්නට අවස්ථාව ලැබීම ගැන. 

වෙන්නප්පුව ආසනය ගැන කතා කරනකොට අපට කවදාවත් අමතක කරන්න බැරි නාමය පෙස්ටස් පෙරේරා නාමය. පෙස්ටස් පෙරේරා මැතිතුමාව එදා අපේ රජයක් තුළ හැඳින්වුවේ වැඩකාර ඇමතිවරයා හැටියට. විශාල වැඩ කොටසක් කරපු ඉතාමත්ම විශිෂ්ඨ මහජන නියෝජිතයෙක් විදියට. එතුමාගේ පුතාත් සමඟ, හෙක්ටර් අප්පුහාමි මැතිතුමාත් සමඟ, අපේ පළාත්සභා සහ පළාත් පාලන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සමඟ සමගි ජන බලවේගය ශක්තිමත් කරන්නට ලංකාවේ ප්‍රබලතම දේශපාලන යාන්ත්‍රණය නිර්මාණය කරන්නට අපි අද පුත්තලම් දිස්ත්‍රික්කය පුරාවට මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. 

මාස හයක් වයසැති අපේ පක්ෂය - හයෙන් හතරක්ම ලොක්ඩවුන් ෂට්ඩවුන් ගෙදර ඇතුළෙ හිටියෙ - මාස දෙකක මැතිවරණ ව්‍යාපාරයක් කරලා විසිහත් ලක්ෂ හැත්තැ දාහකට වැඩි ඡන්ද අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක්, 23.9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. කොටින්ම කිව්වොත් SWRD බණ්ඩාරනායක මැතිතුමාටත් බැරිවුණා පළවෙනි වතාවට ඡන්දය ඉල්ලලා මේ වගේ ලොකු ප්‍රගතියක් ලබාගන්නට. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ, ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අපි වාර්තාවක් තියලා තියෙනවා. ඒ වාර්තාව තමයි ලියාපදිංචි වෙලා කෙටිම කාලයක් තුළ මැතිවරණයකට ඉදිරිපත් වෙලා මේ වගේ ප්‍රගතියක් ලබපු පක්ෂයක් මේ රටේ තිබිලාම නෑ. 

එහෙනම් අපි සජබ මේ මොහොතේ විපක්ෂයක් හැටියට රටට විශිෂ්ඨ සේවාවක් කරන, රට ගොඩනඟන, අගයක් එකතු කරන, ප්‍රගතියක් ඇතිකරන ප්‍රගතිශීලී නූතනවාදී දේශපාලන බලවේගයක් ලෙසින් අපි කටයුතු කරනවා. හැමවෙලාවෙම හරි දේට අපි පෙනී සිටිනවා. හොඳ දේට හොඳයි කියනවා. වැරදි දේට වැරදියි කියනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැනත් අන්න එහෙමයි. හැමදේටම විරුද්ධ වෙන්නෙ නෑ. ආණ්ඩුවෙන් හොඳ දෙයක් කළොත් ඒකට අපි උදව් කරනවා. ඒක තමයි නූතනවාදී විපක්ෂයක් කරන්නට ඕනෙ. 

මෑත කාලයේ නම් අපට හොඳක් දකින්නට ලැබිලා නැහැ. නමුත් හොඳ දෙයක් වුණොත් හොඳ දේට හොඳයි කියනවා. වැරදි දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම වැරැද්ද පෙන්නලා දීලා විකල්පයකුත් ඉදිරිපත් කරලා හැම මොහොතකදීම හැම අවස්ථාවකදීම අපි ජනතාවත් එක්ක හිටගන්නවා. අපි රට වෙනුවෙන් හිටගන්නවා. රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, රට සුරක්ෂා කිරීම .... මේවා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා පමණක් නෙවෙයි ඒ වෙනුවෙන් සටන් කරන්නටත් අපි සූදානම්. 

ඒනිසා මිත්‍රවරුනි, අද අපි රටගැන හිතනකොට හොඳ අවබෝධයක් ලබාගන්නට ඕනෙ බොහෝ අවස්ථාවල අපට දකින්නට ලැබෙන්නේ දේශපාලන ටෙලිඩ්‍රාමා. බොහෝම ලස්සනට කතාව හදලා, නළුවො නිර්මාණය කරලා, බොහොම ලස්සනට ටෙලිනාට්‍ය ක්‍රියාත්මක වෙනවා. පස්වෙනි මණ්ඩලයේ, හයවෙනි මණ්ඩලයේ, හත්වෙනි මණ්ඩලයේ, සුපිරි මණ්ඩලයේ චිත්‍රපට අපට දකින්නට ලැබෙනවා. හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ ජනතාව මුලා කරන්නට. දැන් බලන්න මිත්‍රවරුනි, 20 වෙනි සංශෝධනය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා රටේ උත්තරීතර නීතිය වෙනස් කරන්න. මේකද රටේ ප්‍රමුඛතාවය ? අද අපේ රට සංවර්ධන ක්ෂේත්‍රයේ පහළටම වැටී යනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වීගෙන යනවා. හැබැයි නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට ගේන ප්‍රධානතම යෝජනාව තමයි 20 වැනි සංශෝධනය. 

දැන් පහුගිය මැතිවරණ කාලේ කතාවුණු මාතෘකා දිහා බලනකොට 20 වැනි සංශෝධනයක් ගැන කතා කළේ නෑනෙ. 24 පැයම කතා කළේ පාස්කු ප්‍රහාරය ගැනනේ. එතකොට හරිනම් අද ගේන්නට ඕනෙ පළවෙනි නීතිය මොකද්ද ? මම විශ්වාස කරන ආකාරයට අපට ශක්තිය තිබුණා නම් අපට හයිය තිබුණා නම් සමගි ජන බලවේගය ගෙනෙන පළවෙනි නීතිය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු, සැලසුම් කරපු, දශමයකින්වත් ගෑවුණු ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම මරණීය දණ්ඩනය ලබාදෙන්න. ඔන්න රටේ ප්‍රමුඛතාවය. ඔන්න ජාතික න්‍යාය පත්‍රයේ එකටම තිබෙන්න ඕනෙ දේ. ඒකයි අපි විශ්වාස කරන්නෙ. ත්‍රස්තවාදයට කුඩු ජාවාරමට සම්බන්ධ ඒ ඇත්තොන්ට දෙන්න ඕනෙ සිංගප්පූරුවෙ සැලකිලි. මොකද්ද හෙරොයින් ජාවාරම කරන අයට සිංගප්පූරුවෙ ලබාදෙන සැලකිල්ල ? කෙළින්ම මරණීය දණ්ඩනය. ඇමරිකාවෙ ජනාධිපති කෝල් කරලා කිව්වත් අනේ අපෙ පුරවැසියාව බේරලා දෙන්න, මරණීය දණ්ඩනයෙන් කියලා සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ අගමැතිතුමා කිව්වා ඇමරිකාවෙ ජනාධිපතිතුමාට ඔබ ඔබගේ දේ බලාගන්න, ඔබගේ රටේ දේවල් බලාගන්න, මං මගේ රටේ දේවල් බලාගන්නම් කියලා අර කුඩු ජාවාරම කරපු ඇමරිකානු ජාතිකයාව පෝරකයට යැව්වා. 

දැන් අපේ රටේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා ඡන්ද කාලෙට. දැන් මොනවද මිත්‍රවරුනි ඡන්ද කාලෙ පාස්කු ප්‍රහාරය ගැන නොකිව්වෙ ? මොකද්ද රිෂාඩ් බදූර්දීන්ට කිව්වෙ ? මල්ලි සම්බන්ධයි කිව්වා පාස්කු ප්‍රහාරයට. ඒ ටෙලිඩ්‍රාමා එක බොහොම ලස්සනට ක්‍රියාත්මක කළා ඡන්ද කාලෙ. මහජනතාව රවට්ටන්න. දැන් මොකද කියන්නෙ ? කිසිදු සාක්ෂියක් නැහැ, කිසිදු සම්බන්ධයක් නැහැ, රිෂාඩ් බදූර්දීන්ගෙ සහෝදරයා නිදොස්කොට නිදහස්. හැබැයි ඡන්දෙ කාලෙ අර පස්වෙනි මණ්ඩලයේ  හත්වෙනි මණ්ඩලයේ චිත්‍රපටය ක්‍රියාත්මක වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි, පාස්කු ප්‍රහාරයේ මහාමොළකරුවන්. මං පැහැදිලිවම මේ අවස්ථාවෙ කියනවා මේ දේශපාලන විකට රංගන නතර කරලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, එය සැලසුම් කරපු, ඒ නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය දියත් කරපු සියලුම දෙනා නීතිය හමුවට ගෙනැවිල්ලා සිර දඬුවම නෙවෙයි, මරණීය දඬුවම ලබාදෙන්නට ඕනෙ. ඒක පාඩමක් කරගන්නට ඕනෙ අනෙකුත් සියලුම දෙනාට මේ වගේ නීච ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වුණොත් මේක තමයි අත්පත්වෙන ඉරණම කියලා. අන්න ශක්තිමත් දේශය. අන්න ශක්තිමත් ශ්‍රී ලංකාව. නමුත් ඒ ශක්තිමත් ශ්‍රී ලංකාව දැන් අපට දකින්නට ලැබෙන්නෙ නෑ. 

බොරුවට චිත්‍රපට හදනවා. ඡන්ද කාලෙ 24 පැයම කතා කළේ පාස්කු ප්‍රහාරය ගැනනේ. දැන් මොකද ? දැන් ඡන්දෙන් පස්සෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධෙයි කියලා එදා කියපු කට්ටියට දැන් කියනවා නෑ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා නිදහස් කරනවා. මාස පහක් හිරේ තියාගෙන අර දේශපාලන විකට රංගනය ක්‍රියාත්මක කළා. රටේ ජනතාවත් සමහරවිට හිතන්නට ඇති බහුතරයක් මගෙ අම්මේ මේ බලන්නකො මේ මහා රකුසො ටික කියලා. දැන් රකුසොන්ට මොකද්ද වෙලා තියෙන්නෙ ? රකුසො නෙවෙයි පූස් පැටියො කියලා ආණ්ඩුවම කියනවා. මොකද්ද මේ විහිළුව ? මෙහෙම හැසිරෙන්නෙ ඇයි ? හිතන් ඉන්නවා මේ රටේ ඉන්නෙ කියන කියන හැමදේම විශ්වාස කරන මෝඩ ජනතාවක් කියලා. එහෙම හිතනවා ඇති. නමුත් මම පැහැදිලිවම කියනවා අපේ රටේ ජනතාව මෝඩ ජන කොට්ඨාශයක් නොවෙයි, ඉතාමත්ම බුද්ධිමත් ජන කොට්ඨාශයක්. මේ මැතිවරණ කාලෙ නටපු නැටිල්ල, ඒ කරපු රැවටිල්ල අපේ ජනතාව අමතක කරන්නෙ නෑ. මම විශ්වාස කරනවා නිසි වේලාවට නිසි කලට නිසි ලෙසට ඒවාට ප්‍රතිචාර දක්වයි කියලා. 

ඒනිසා මිත්‍රවරුනි, හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුවෙන් නම් මේ රජයෙන් නම් තමුන්නාන්සෙලාට කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. ඕනෙ නම් හෙට අනිද්දාට ටේප් පටි ටිකක් තමුන්නාන්සෙලාට බෙදලා දෙයි පොළට යනකොට පොල්ගෙඩි ටික මැනලා ගන්න. දැන් 69 ලක්ෂයක් වරම් ලබාදුන්නෙ පොල්ගෙඩි මැනලා ගන්නනේ ? මෙන්න අද රට පත්වෙලා තියන ඉරණම. ජනතාවට ජීවත් වෙන්නට බෑ. ඉහළ ජීවන බරක්. උහුළන්නට බෑ. මෙවන් තත්වයක් තුළ සමගි ජන බලවේගයේ අපි සූදානම් පොදු ජනතාවගේ හඬ බවට පත්වෙලා ඔබලාගේ දුක කඳුල වේදනාව මැතිසබයේ නියෝජනය කරන්නට. අනාගත පළාත්සභාවෙ නියෝජනය කරන්නට. පළාත් පාලන ආයතනවල නියෝජනය කරන්නට. සත්‍යවාදී පිරිසිදු සංවර්ධිත රාජ්‍ය පාලනයක් මේ රටට ලබාදෙන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම්. කරුණාකරලා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කියන්නා කෙසේ කීවත් අසන්නා සහ බලන්නා බුද්ධිමත්ව අසන්න, බලන්න. ඔය විවිධ අවස්ථාවලදී රට මංමුලා කරවන බොරුකාර වංචාකාර ප්‍රවෘත්තිවලට රැවටෙන්නෙ නැතුව තමුන්නාන්සෙලා රට ගැන හිතලා රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීන්දුවක් ගන්නට සූදානම් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි, සියලු දෙනාටම ජයවේවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)