May 15, 2024

ගම් නියම්ගම් සිසාරා යන විට අහන්න ලැබෙන්නේ බඩගින්නේ ප්‍රශ්න

September 30, 2020

ඉහළ යන භාණ්ඩ මිල හමුවේ රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියදී ආණ්ඩුව එය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට වෙහෙසෙන බවත් බඩුමිල පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ නියෝග මාධ්‍ය ඔස්සේ නිකුත් කළත් ඒවා මහ පොළවේ ක්‍රියාත්මක කරවීමට ඔවුන් අසමත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි සජබ යාන්ත්‍රණය පිහිටුවීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අද දවස පුරාවටම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසකට ගොස් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ආශිර්වාද ලබාගෙන මේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය සකස් කිරීමේ වැඩසටහන ආරම්භ කරලා මේ වනවිට ඉතාම සාර්ථක ඉලක්ක කරා යන්නට අපට හැකිවෙලා තිබෙනවා. මහ පොළවට පය ගහලා මේ දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම් සිසාරා යනවිට අපට අහන්නට ලැබෙන ප්‍රධානතම පැමිණිල්ල වන්නේ රටේ තිබෙන බඩුමිල ප්‍රශ්නය. ජනතාවට දරාගන්න බැරි ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඒවගේම ආහාර පානවල මිල අහස උසට ඉහළ ගිහිල්ලා තිබෙනවා. 

මේ තත්වය තුළ රටේ ජනතාව අසීමිත පීඩනයකට අසහනයකට ලක්වෙලා තිබෙනවා. කොරෝනාවෙන් සිදුවුණු ආර්ථික හානියට අමතරව බඩුමිල ඉහළ යාම නිසා තවදුරටත් ජනජීවිතය අසීරු තත්වයකට ඇදවැටීම තුළ ජනතාව අහනවා තමන් පත් කරගත්ත රජය රටේ ජනතාවට ලබාදෙන විසඳුම මොකද්ද කියලා. රටේ ජනතාව තීන්දු කළා අපිව විපක්ෂයේ තබන්න. විපක්ෂයේ අපි දැන් රජයෙන් අහනවා තමුන්නාන්සෙලා රජය බාරගත්තෙ රටේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවයි කියලා, නමුත් මේ බඩුමිල ඉහළ යාමත් උද්ධමනය වැඩිවීමත් තුළ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. 

ඒ නිසා රටේ ප්‍රධානතම ගැටළුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම නෙවෙයි. එයිට වැඩිය වඩාත් ප්‍රමුඛතාවට ලබාදිය යුතු කාරණාව වන්නේ ජනතාවගේ දුක්ගින්නට බඩගින්නට විසඳුමක් ලබාදීම. බඩුමිල අඩු කරන්නට මේ රජයට හැකියාවක් නෑ. රජය ඉදිරිපත් කරන හැම නියෝගයක්ම මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නියෝග ප්‍රවෘත්තිවල පළ වෙනවා, මාධ්‍යවල ලොකූවට කියවෙනවා. නමුත් ඒ නියෝගවලින් නම් කෙරෙන මිලට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොහේවත් ගන්නට නෑ. මොකද්ද අපට මේකෙන් තේරෙන්නෙ ? අපට තේරෙන එකම දේ තමයි රජය කුමන දේ ප්‍රකාශ කළත් එය ක්‍රියාවට නංවන්න රජය අපොහොසත් වෙලා කියන කාරණය. 

ඒ නිසා සමගි ජන බලවේගයේ අපි හැමවිටම රජය ජනතාව වෙත ලබාදුන්නු පොරොන්දු ඉෂ්ඨ කිරීමේ ඒ භාරදූර කර්තව්‍ය ඉටු කරන තාක් කල් අපි උකුසු ඇසෙන් බලාගෙන සිටිනවා රජයේ කතාවත් ක්‍රියාවත් අතර වෙනස. අපි මොනම ආකාරයකටවත් මේ රජයට ඉඩ තියන්නෙ නෑ බොරු බලාපොරොත්තු දීලා ජනතාවගේ ප්‍රශ්නවලින් පැන යන්නට. රටටත් ජනතාවටත් බොහොම පැහැදිලි පොරොන්දුවක් දුන්නා නම් බඩුමිල අඩු කරනවා, ජන ජීවිතය ශක්තිමත් කරනවා, රට සංවර්ධනය කරනවා කියලා ඒ වචනවල පරිසමාප්ති අර්ථයෙන්ම ඒ ඉලක්ක සම්පූර්ණ කරන තෙක් සමගි ජන බලවේගයේ අපි මේ රටේ පොදු ජනතාවත් සමඟ එකට හිටගෙන ජනතා අරගලයට ප්‍රජාතන්ත්‍රවාදීව සහයෝගය ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඒක තමයි අපේ අරමුණ, ඒක තමයි අපේ අභිප්‍රාය. අපේ ගමනත් මේ රටේ පොදුජනතාවගේ ගමනත් එක හා සමාන ගමනක්. සමාන්තර ගමනක්. අපි සිටින්නේ විපක්ෂයේ වගකිවයුතු මහජන නියෝජිතයින් හැටියට රජය ලබාදුන්නු ඒ මහජන භාරකාරත්වය ඒ මහජන පොරොන්දු මාලාව හරි ආකාරව ඉටු කරනවාද නැද්ද කියන කාරණාව විපරමට ලක් කරන්නටයි. ඒ පොරොන්දු ඉටු නොවන අවස්ථාවක් පාසා අපි රජය මජනතාවගේ පැත්තෙන් මහජන අධිකරණයට ගෙන එන්නට සූදානම් කියන එක මං කියන්න කැමතියි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)