May 14, 2024

අර්ජුනට තනතුර නොලැබෙන ලකුණු (VIDEO)

මහබැංකු අධිපති තනතුර තවදුරටත් අර්ජුන මහේන්ද්‍රන්ට ලබානොදෙනු ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (15) ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් විමසන ලද ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

ජනාධිපතිවරයා ද මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවද මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තවදුරටත් එම තනතුරේ තබා ගන්නවාද යන්න පිළිබඳව යහපාලන ආණ්‌ඩුව ළඟදීම යහපාලන තීන්දුවක්‌ ගන්නා බවද රාජිත සේනාරත්න මහතා පැවසී ය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ තනතුරට පත් කරන අවස්‌ථාවේ සිටම ඊට තමා දැඩි සේ විරුද්ධ වූ බවත් දැන් විවිධ පුද්ගලයන් ඔහුට විරුද්ධ වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් දැකීමෙන් පමණක්‌ බවත් කී ඒ මහතා තමා ඔහු හඳුනන්නේ 2002 එජාප රජය සමයේ සිටම බැවින් ඔහු පත් කිරීමට දැඩිව විරුද්ධ වූ බවත් කියා සිටියේය.

මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැක දැකත් ඔහුට තවදුරටත් සේවා දිගුවක්‌ ලබාදේවි යැයි තමා නොසිතන බවද තව ටික දවසකින් යහපාලනය දැක ගත හැකි බවද ඇමැතිවරයා කීය.

මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන බවට ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති සේනාරත්න මහතා පැවසුවේ කිරිඇල්ල ඇමැතිවරයා කර ඇත්තේ ඔහුගේ පුද්ගලික මතයක්‌ බවත් එය රජයේ මතයක්‌ නොවන බවත්ය. 

ඕනෑම කෙනකුට තම පුද්ගලික මත ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)