May 15, 2024

'රාජිත ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ දූ දරුවන්, ඥාතීන් මාලබේ සයිටම් එකේ' - රංගන හෙළි කරයි

December 18, 2015

පහුගිය ආණ්ඩුවෙත්, මේ ආණ්ඩුවෙත් ඇමතිවරුන්ගේ මන්ත‍්‍රීවරුන්ගේ දූවරු, පුතාලා, ලේලිලා, බෑනලා රැසක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේ කරුණු අනාවරණය කළේය.

“මේ වන විට ආණ්ඩුව රජයේ රෝහල් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයට සායනික පුහුණුව සඳහා ලබාදීමට එකඟ වී තිබෙනවා. එක පැත්තකින් මුදල් අමාත්‍යවරයා 2016 අයවැය ඉදිරිපත් කරමින් අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර ඇති බව කියාපෑමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒ අතරෙම ඒ අයවැය ඇතුළෙ අධ්‍යාපනය විකිණීම සඳහා වූ ප‍්‍රතිපත්තිත් අන්තර් ගත වෙලා තියෙනවා.“

“පහුගිය සැප්තැම්බර් 04වැනිදාත් වෛද්‍ය සභාව තීන්දු කරන්නේ, මේ සයිටම් ආයතනයේ ලියාපදිංචි වෙලා සිටින කිසිදු ශිෂ්‍යයෙක් සායනික පුහුණුව සඳහා යෝග්‍ය නැහැ කියලා. ඒත් සෞඛ්‍ය ඇමතිවරයා සයිටම් ආයතනය සමඟ රහසේ එකඟතාවයට ඇවිත් තියෙනවා. ඒ අනුව සයිටම් ආයතනය සායනික පුහුණුවට රෝහල් ලබා නොදීම මගින් ඇමතිවරයා අධිකරණයට අපහාස කළා කියලා නඩුවක් ගොනු කරනවා. ඒ අනුව ඇමතිවරයා අවිස්සාවේල්ල මූලික රෝහල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සායනික පුහුණුව සඳහා ලබාදීමට පොරොන්දු වීමෙන් පසුව අපහාස නඩුව ඉල්ලා අස්කර ගන්නවා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“රාජිත සේනාරත්න ඇමතිවරයා පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය වෙනුවෙන් මේ තරම් පෙනී සිටින්නෙ ඇයි? ඔහුගෙ ලේලි - චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයාගේ බිරිඳ - සරූපා සමන්ගි මනතුංග මේ වන විට සයිටම් ආයතනයේ 06වැනි කණ්ඩායමේ ශිෂ්‍යාවක්. ඇයගේ ලියාපදිංචි අංකය එම්එෆ්121/එෆ්006/එම්ඞී77. ඇය ලියාපදිංචි වන්නේ ඇගේ ගමන්බලපත‍්‍රය අනුවයි. එය එන් 1537272. අනෙක් අතට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ සහෝදරයාගේ දියණියන් දෙදෙනාම මෙහි අධ්‍යාපනය ලබනවා. ඔවුන් පමණක් නෙමෙයි, පහුගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ඇමතිවරුන්ගෙ මන්ත‍්‍රීවරුන්ගෙ දූවරු, පුතාලා, ලේලිලා, බෑනලා රැසක් මෙම ආයතනයේ ඉගෙනුම ලබනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි, පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකගන්න මේ තරම් වෙහෙසෙන්නෙ ඇයි කියලා. කලින් ආණ්ඩුව මේ ආයතනය රැකගන්න මේ ආයතනයට සල්ලි දුන්නා. මේ ආණ්ඩුව රජයේ දේපළ දෙනවා.“ යැයි රංගන දේවප‍්‍රිය මහතා අවධාරණය කළේය.

“මේ ආයතනය දිගින් දිගටම වංචාකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති බව කියමින්, තව තවත් සිසුන් බඳවා ගනිමින් මහජනතාව මුලා කරනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි අවධාරණය කරන්නේ මෙම මෙම හොර උපාධි ආයතනයට රජයේ රෝහල් සායනික පුහුණුව සඳහා ලබා නොදිය යුතු බවයි. එක්කෝ සිසුන්ගෙන් ගත් මුදල් ආපසු ගෙවීමට බලකර මෙම ආයතනය වසා දැමිය යුතුයි. නැතහොත් මෙම ආයතනය රජයට පවරා ගත යුතුයි. ඒත් එහිදී කොන්දේසියක් විය යුත්තේ මෙම ආයතනයේ දැනට සිටින සිසුන්ගෙන් සුදුසුකම් ඇති අයට පමණක් උපාධිය ලබාදීමට පියවර ගැනීමයි. ජනගහනයෙන් 43%ක් දවසකට ඩොලර් 02කට අඩු ආදායම් ලබන රටක කළ යුත්තේ පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කිරීම නෙමෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි.“ ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 

Rate this item
(0 votes)