May 18, 2024

සිම්බාබ්වේ දුන් දැවැන්ත ඉලක්කය සිංහයෝ ජයගත්තේ මෙහෙමයි (VIDEO)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලිය ඊයේ (16) ආරම්භ වූවා.

ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.

පළමු තරගයේ කාසියේ වාසිය දිනාගනු ලැබුවේ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වයින් විසින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ නොසිතූ අභියෝගාත්මක පීඩනයක්.

නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුළු 09ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණූ 297ක්.

සීන් විලියම්ස් ලකුණු 100ක් ලබා ගත් අතර රෙගීස් චකබ්වා ලකුණු 72ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මාස ගණනක තරග තහනමකට පසුව යළි පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල යි.

ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 26ක් පමණයි.

දෙවැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් ලකුණූ 17කට දැවී ගියා.

කෙසේ වෙතත් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සබඳතාවක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් සමත් වූ අතර එය බිදී ගියේ පැතුම් නිස්සංක ලකුණූ 75කට දැවී යාමත් සමග යි.

නමුත් චන්දිමාල් සහ චරිත් අසලංක එක්ව ලකුණු 129ක දැවැන්ත ලකුණූ සබඳතාවක් පිහිටවූවා.

මුලු ලකුණු ගණන 276ක්ව සිටිය දී සිව්වැනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී ගියා.

නිස්සංක මෙන්ම ඔහු ද දැවී ගියේ ලකුණු 75කට යි.

චරිත් අසලංක ලකුණූ 71කට දැවී ගියා.

ඒ ජයග්‍රහණය සඳහා තවත් ලකුණූ 05ක් පමණක් ලබා ගැනීමට තිබියදී.

අනතුරුව පිටියට පිවිසි චාමික කරුණාරත්න, ඉනිමෙහි 49 වැනි පන්දුවාරයේ දී එල්ල කළ හතරේ පහරකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කළා.

කඩුළු 05ක් දැවී ශ්‍රී ලංකාව ලැබූ මුලු ලකුණූ ගණන 300ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජයගත්තා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී සිම්බාබ්වේ පිතිකරුවන් ඉඟි කළේ තමන් තවදුරටත් ආධුනික කණ්ඩායමක් නොවේ ය යන්න යි.

දිනේෂ් චන්දිමාල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 January 2022 13:45