May 17, 2024

ඒකාබද්ධයේ නව පක්ෂය ලබන වසරේ එළියට: නායකත්වයට ගෝඨා - දිනේෂ්

ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානය මේ වසරේදී රට හමුවේ ඉදිරිපත් නොකිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

දැනටමත් එම දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් අවසන් කර තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා ගනුලබන තීන්දු තීරණ කෙරෙහි අවධානයෙන් සිටිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරි කාලයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආරාධනයක් සිදුකරනු ඇත්දැයි බලාසිටිය යුතු බවත් එසේ නොමැතිව ජනාධිපතිවරයා රංගනයක් පමණක් සිදුකරගෙන යන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාද ඒ අනුව ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔවුන් අතර සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් රට හමුවේ තැබීමටද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

නව සන්ධානයක් ලෙස ජනතාව හමුවට යන දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නොදරනු ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එහි නායකත්වයට පත්කළ යුතු බවත් දැනට සිදුකර ඇති සාකච්ඡාවලදී අවධානය යොමුව ඇතැයි සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා එහි සංවිධායක කටයුතු සිදුකරන අතර මේ වනවිට දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන්, ප්‍රාදේශීය සංවිධාකයන් හා ඡන්ද පොළ නියෝජිතයන් පත් කර තිබේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 October 2016 10:32