ඉන්දීය සංගීතයේ කිසිදා නොමැකෙන සළකුණක්වන ලතා මංගෙෂ්කාර් මෙනවිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මෙලෙස ජීවිතයට සමු දී ඇත්තේ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස යි.
1929 වසරේ සැප්තැම්බර් මස 28 වැනි දින උපත ලැබූ ඇය මියයන විට 92 වැනි වියෙහි පසු වූවා.
කොවිඩ් රෝග ලක්ෂණ මතු වීමත් සමග ඇය රෝහල්ගත කර තිබුණේ ජනවාරි 08 වැනි දා යි.
එතැන් සිට මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලැබූ ඇය අද (06) උදෑසන 8.12ට මියගිය බව එම රෝහල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
කොවිඩ් 19 වෛරස ආසාදනය නිසා ඇති වූ බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාව ඇගේ මරණයට හේතු වී ඇති බව සඳහන්.
ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ඨ මෙහෙවරක් කළ ඇය ගායනා කර ඇති ගීත ගණන 30,000 ඉක්මවන බව යි වාර්තා වන්නේ.
එමෙන්ම ඇය භාෂා 36කින් ගී ගයා තිබෙනවා.
සිංහල භාෂාව ද එයට ඇතුළත්.
1955 තිරගත වූ “සැඩ සුළං” චිත්‍රපටයේ ඇය ගී ගැයූ අතර එම චිත්‍රපටයේ “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී” ගීතය විශේෂයෙන් කැපී පෙණුනා.
බොලිවුඩ් සිනමාවෙහි පසුබිම් ගායිකාවක් ලෙස ඇය ඉන්දියාවේ ජාතික සළකුණක් බවට පත් වූවා.
ඇය හැඳින්වෙන්නේ “බොලිවුඩයේ මහා ගීත කෝකිලාවිය” නමින්.
මංගෙෂ්කාර් මෙනවියගේ අභාවයත් සමග ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලන නායකයින් මෙන්ම ඒ.ආර්. රහ්මාන් ඇතුළු කලාකරුවන් විශාල ප්‍රමාණයක් ද සිය ශෝකය පල කරමින් සිටිනවා.
එමෙන්ම ඇගේ ඉන්දීය රසික රසිකාවියන් ද ශෝකයෙන් හඬා වැටෙමින් සිටින බව යි එරට පුවත් සේවා වාර්තා කරන්නේ.
ඇය වෙනුවෙන් දින දෙකක් ජාතික ශෝක දින ලෙස නම් කිරීමට ද ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.
කිසි දා විවාහ නොවී තනිව ජීවිතය ගත කළ ඇය ක්‍රිකට් ලෝලියෙකු බව ද පැවසෙනවා.
එමෙන්ම ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ගායිකා ආශා බෝස්ලේ මහත්මිය, මංගෙෂ්කාර් මෙනවියගේ බාල සොයුරිය යි.
මංගෙෂ්කාර් මෙනවිය පද්ම භූෂන්, පද්ම විභූෂන්, මහාරාෂ්ඨ භූෂන්, භාරත් රත්න ඇතුළු ගෞරව සම්මාන රැසකින් ද, සිනමා හා සංගීත සම්මාන අති විශාල ප්‍රමාණයකින් ද පිදුම් ලබා තිබෙනවා.
එමෙන්ම දේශපාලන මතය අතින් ඇය ස්වාධීනව කටයුතු කිරීම ද කැපී පෙණුනා.