April 27, 2024

උපාසකලා වූ බදියුදීන්ලා

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයාට ඡන්ද 69 ලක්ෂයකුත් මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ප්‍රමුඛ එහි සන්ධානගත පාර්ශවවලට ඡන්ද 71 ලක්ෂයක් ලබා දුන් පුරවැසියන් සිතා සිටියේ බදියුදීන්ලා bad boys ලා කියාය.

සත්‍යය සැමදා යටපත් කිරීමට නොහැක. දැන් ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරා වූ රියාජ් බදියුදීන් කුරා කූඹියෙකුටවත් කරදරයක් නොකළ අහිංසක කොල්ලන් දෙන්නෙක් බව විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මරණයට හා පීඩාවට පත් පවුල්වල ජනතාවට ඔප්පු කර හමාරය. එය ලොකු පිනකි. එම පිනේ හිමිකරුවන් වන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුවේ දක්ෂකම නොවන්නට මේ අහිංසක බදියුදීන් සොහොයුරන් දෙදෙනා නොකළ වරදකට දඬුවම් විදිනු ඇත. සමාජයේ ඇනුම් බැනුම් වලට ලක්වනු ඇත.

බදියුදීන් සොහොයුරන් පාස්කු ඉරුදින මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදයට මූල්‍ය හා වෙනත් පහසුකම් සපයා එම අන්තවාදීන් ශක්තිමත් කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. එය හමාර වූයේ රිෂාඩ්ගේ සොහොයුරා ඉකුත් අප්‍රේල් මස 14 වැනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙනි.

බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම, එක් බෝම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේදී එක්තරා හෝටලයක දී සාකච්ඡා කිරීම, විශේෂ සුභසාධක සමිති සමාගම් ඇතිකර බෝම්බකරුවන් සමග ඒ ආයතන වල නිලතල දැරීම, එම සමාගම්වල බෝම්බකරුවන් සමග මුදල් ආයෝජනය කිරීම, බෝම්බකරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම රිෂාඩ්ගේ සොහොයුරාට එල්ල වූ චෝදනා අතර වේ.

මාස 5ක් පුරාවට රඳවා ගෙන ප්‍රශ්න කළ ද මේ චෝදනා එකක්වත් සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි සොයා ගැනීමට නොහැකිකම මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රියාජ් බදියුදීන් නිදහස් කරන ලද්දේ අවම තරමින් අධිකරණයකටවත් ඉදිරිපත් නොකරය. ඊට සමගාමීව ඔහු නිදහස් කරන අවස්ථාවේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි නුවන් වෙදසිංහ හට ස්ථාන මාරුවක් ලැබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මාරුකිරීම් ක්‍රියා පටිපාටියට අනුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සඳහන් කර තිබෙන්නේ ජනතාව තුළ යම් කුකුසක් ඇති නම් එයද පහව යන පරිද්දෙනි.

අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ මෙම වික්‍රමයෙන් සලිත වූයේ අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 250කට ආසන්න අධික පිරිසත් තුවාල ලැබූ 500කට අධික පිරිසත් ඒ අතර සිටින සදාකාලිකව ආබාධිතයන් වූ පිරිසත් සිහි වූ උන්වහන්සේ මගේ මිනිස්සු තාමත් දුක් විඳිනවා යැයි පවසමින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් සමඟ තිබෙන දේශපාලන ඩීල් එකක් මත රියාජ් බදියුදීන් නිදහස් කළා දැයි ප්‍රසිද්ධියේම ප්‍රශ්න කරන ලදී. එය නම් වැදගත් ප්‍රශ්නයකි.

නීති විශාරදයන් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රේමනාත් සී දොලවත්ත වැන්නවුන් රියාජ් බදියුදීන් අධිකරණයකට ඉදිරිපත් නොකොට මෙහෙම නිදහස් කළේ කොහොමද කියා අහන්නේ ඒ නිසාය.

දේශපාලනය ගැන දන්නා අය කියන්නේ රිෂාඩ් බදියුදීන්ගේ ගුරා බැසිල් රාජපක්ෂ කියාය. කොටින්ම රිෂාඩ් නිර්මාණය කළේ බැසිල් කියාය. බැසිල් සිය ගෝලයාට විල්පත්තුව සුද්ද පවිත්‍ර කර හිතවතුන්ට බෙදා දීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ ද තිබුන ගුරු ගෝල සම්බන්ධය දැඩි නිසාය. 2015 ජනාධිපතිවරණය ආසන්නයේ ගෝලය ප්‍රතිවිරුද්ධ කඳවුරට පැන්නේය.

දැන් ආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය වී තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 150 ක් සොයා ගැනීමය. රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් 4දෙනාගේ සහාය කෝටි 200කට වඩා වටින්නේ ආණ්ඩුව තුළ ම පිරිසක් ඊට විරුද්ධ වීම නිසා ය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනටමත් අනතුරු අඟවා හමාරය. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ද සිටින්නේ වැඩ උඩය. විමල් විරවංශ අමාත්‍යවරයා හා ඔහුගේ පක්ෂයේ ඉන්න හයදෙනා 20 ගැන සිටින්නේ නොසතුටිනි.

රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ මේ පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේය. ඔහුට චෝදනා පැටවූයේත් මේ ආණ්ඩුව යටතේය. ඔහුට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බව පවසා ඔහුව නිදහස් කරන්නෙත් මේ ආණ්ඩුව යටතේය. එනිසා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිය තනිමතයට රියාජ් බදියුදීන් නිදහස් කළේ යැයි සිතන්නේ මන්ද බුද්ධිකයෙක්ය.රිෂාඩ් බදුදීන් නිදහස් කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද, ඊට හේතු කුමක්ද? යන්න අබ ඇටයක තරම්වත් මොලයක් තියෙන කෙනෙකුට තේරුම් ගැනීමට පිළිවන.

රිෂාඩ් බදුර්දීන් ඇතුළු ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම 20දී ආණ්ඩුවට සහය වීම පිළිබඳව දැන් අලූත් කතාවක් සමාජගත කර තිබේ. ඒ විපක්ෂයේ සිට ම 20ට සහය දෙන බවටය. එයද හතර බීරි කතාවකි.

දැන් මේ ආණ්ඩුව කියන්නේ ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයකුත් මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ 3න් 2ක් ලබා දුන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සදහා බවය. තර්කය එය නම් රිෂාඩ් බදියුදීන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමගි ජන බලවේගයට ජනතාව ඡන්දය දුන්නේ ඊට ප්‍රතිවිරුද්ධවය. රිෂාඩ් බදියුදීන්ලාද එම ප්‍රතිවිරුද්ධ මතවාදයේ කොටස්කරුවන්ය. ඒ අනුව ඔවුන් පෙනී සිටිය යුත්තේ 20ට පක්ෂපාතීව නොව 20ට විරුද්ධවය. 20ට පක්ෂපාතීව ඡන්දය දීමට රිෂාඩ් ඇතුළු විපක්ෂයේ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. අපේ දේශපාලනඥයන් තුළ නැත්තේද ඔන්න ඔය සදාචාරයය. එය දැන් බල්ලට ගොස්ය.

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට චරිත සහතිකයක් දුන්නෙ නීතිය හා සාමය විෂය භාර ඇමැති චමල් රාජපක්ෂය. රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්තවාදී සිද්ධීන්ට සෘජුවම සම්බන්ධයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඔහු නිදහස් කළ බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කියන ලදී. ඒ කියන්නේ රියාජ් බදියුදීන් මාස 5 මාරක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන තිබෙන්නේ එහි පාලු මකන්නටය.

පොලිස් විෂය භාර අමාත්‍යවරයාගේ මෙම අර්ථ දැක්වීමෙන් පෙනී යන්නේ බදියුදීන්ලා මුස්ලිම් වුවත් හතර පෝයට සිල් ගන්නා උපාසකලා දෙන්නෙක් බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී පුරවැසියා තනි සිංහල ජන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කළේ රිෂාඩ් බදියුදින්ලා, රවුෆ් හකීම්ලා, හිස්බුල්ලා, අසාත් සාලිලාගේ ඉස්ලාම් අන්තවාදයට ප්‍රතිවිරෝධයක් දැක්වීමක් හැටියටය. තමන් තනි සිංහල ජන්දයෙන් පත් වූ බව ගෝඨාභය රාජපක්ෂ රුන්වලි මහා සෑ සමිඳුන් අභියසදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රසිද්ධියේම පිලි ගත්තේය.

දැන් ඉතින් ඒ කාරිය කෙරී අවසන්ය. කෙසේ වෙතත් පුරවැසියාට තමන් එදා දුන් ජන්දයට සාධාරණයක් ඉටු වී ඇත්දැයි නැත්දැයි යන්න 20 සම්මත කර ගැනීමට රිෂාඩ්ලා, හකීම්ලා දක්වන ප්‍රතිචාරය මත තේරුම් බේරුම් කර ගැනීමට පුළුවන.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:11