May 02, 2024

නෙලුම් කුලුනේ ණය වාරිකය කෝටි හත්සිය විසි දෙකක්

November 26, 2020

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආදායමින් ණය හා වාරික ගෙවීමට සැලසුම් කර තිබුණ ද මේ දක්වා ව්‍යාපෘතියෙන් කිසිදු ආදායමක් නොලැබීම හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඒකාබද්ධ අරමුදලට වර්ෂිකව බැර කරන මුදල් ද පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 3040කින් අඩු කර ඇත.

2017 වසරේදී රුපියල් කෝටි පන්සිය විස්සක් ද 2018 දි රුපියල් කෝටි 615ක් හා පසුගිය වසරේ දී රුපියල් කෝටි 1905ක් ද වශයෙන් බැර කරන මුදල් අඩු කර තිබේ.

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබේ.

  

මේ බව හෙලිවී තිබෙන්න‌ේ ගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි.

අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ ය. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණ ද මුළු ණය මුදල සඳහාම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද එහි සඳහන් වෙයි.

චීන සමාගම් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 2015 වසරේ මැයි 12 දින දක්වා වූ දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබිණි. එතැන් සිට වාර්ෂිකව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබූ නමුත් ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම මත එම ආදායම අහිමි වී ඇත.

පසුව ඇති කරගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතුව තිබුණ ද පසුගිය අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබේ.

මූලාශු - අරුණ 

Last modified on Thursday, 26 November 2020 10:12