July 05, 2024

මහේල හා සංගගේ සමුගැනීම දෙපැත්තකින් වැරදියි

මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ කවුරු නිවැරදිද යන්න තමාට ප්‍රකාශ කළ නොහැකි බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මහේල හා සංගක්කාරගේ සමුගැනීම තමන් දැනගත්තේද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවිය හා මාධ්‍ය මගින් බවත් මේ සම්බන්ධව ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතනය තුළින් කාරණා දෙකක් තමන් වැරදි ලෙස දකින බවත් ඔහු සඳහන් කළේ ය.

මෙවැනි ප්‍රකාශ කිරීමට පෙර පළමුවෙන්ම කළ යුතුව තිබුණේ ක්‍රීඩකයින් විශ්‍රාම යාමට පෙර සැලසුම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීම බවත් දෙවනුව ක්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කිරීමට ප්‍රථම ක්‍රීඩකයින්ගේ මතය විමසීම තිබූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

“තමන් හා සංගක්කාර විස්සයි 20 ක්‍රිකට්වලින් සමුගන්නවාද යන බව අපගෙන් නොවිමසා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ලේකම්වරයා මාධ්‍යකට ගොස් අපි සමුගන්නා බව ප්‍රකාශ කිරීම පිළිබඳ මම කණගාටු වෙනවා“ යැයි විස්සයි 20 ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව මෙරටට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන පැවසී ය.  

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල ටුවිටර් වෙබ් අඩවිය ඔස්සේ විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර පළ කර ති‍බිණි.

එහිදී මහේල පවසා ඇත්තේ, බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් කුමාර් සංගක්කාර සමග විස්සයි 20 තරගවලින් සමු ගන්නා බව යි.

 

Rate this item
(1 Vote)