July 05, 2024

මහජන නියෝජිත ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් නොවෙයි

අමාත්‍යවරුන් ප‍්‍රමුඛ මහජන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කරන ජනතා ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් ලෙස නොසළකන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. 

එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතා පදනමෙන් ක‍්‍රියා කරන ලෙස ද ජනාධිපතිවරයා ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ජනාධිපතිවරයා දී ඇති උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රධානීන් වෙත යොමු කරන ජනතාවගේ ඉල්ලීම් අනිසි දේශපාලන මැදිහත්වීම් ලෙස සැළකීමට නිලධාරීන් පුරුදු වී සිටින බවට ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිය ලිපියේ සඳහන් කර ඇත. 

මේ ආකල්පය නිසා එබඳු ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරය නොලැබෙන බව ද ජනතාවගේ ඉල්ලීම් ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කිරීමට මහජන නියෝජිතයනට අයිතියක්, යුතුකමක් සහ වගකීමක් ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 

අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීමට බැඳී සිටිති. එබැවින් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප‍්‍රමුඛත්වය දී ක‍්‍රියා කළ යුතු බවත් එම ඉල්ලීම රැකියා සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳ යථා තත්ත්වය මහජන නියෝජිතයන්ට පැහැදිලි කළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

රැකියාවට බඳවා ගනුයේ තරග විභාගයකින් නම් විභාගය සමත් වීම අනිවාර්යය බව ද පෙන්වා දිය යුතු ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසා ඇත.

Rate this item
(0 votes)