යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.
බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාලයක් ලබාදීමට එහි පාලනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍ය ජී.එල්.පීරිස් මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
"යුක්රේනයේ සිටියා ශ්‍රී ලංකා පුරවැසියන් 81ක්. ඒ 81න් 15ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඉතිරි 66න් 39ක් දැන් වන විට යුක්රේනය අත්හැරලා ගිහිල්ලා තියෙනවා. ඒ අය පෝලන්තය, රුමේනියාව, මොල්ඩෝවා කියන රටවල් වලට ගිහිල්ලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් ජර්මනියට ගිහිල්ලා තියෙනවා. එතකොට දැනට යුක්රේනයේ ඉතිරි වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් 27 දෙනයි. ඒ 27දෙනා කියලා තියෙනවා දැනට යුක්රේනය අත්හැර යාමට කැමති නැහැ කියලා. දුරකතනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා තානාපති කාර්යාලයට."