April 30, 2024

ඇමති ජොන්ස්ටන්ට තවත් පුටුවක්! ගම්මන්පිල - වාසුත් ඒ වැඩේට නම් කරයි

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමට අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.
 
වර්ෂ 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් 70% ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කර ගැනීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය ඉලක්කයන් සපුරාගැනිම පිණිස කඩිනම් සහ යෝග්‍ය පියවර ගැනීම පිණිස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය වුණා.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපතිවරයා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරනවා.

දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම, ඉහල ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම, ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරනු ලබන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කාර්යන් කෙරෙහි මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු වනවා.

මෙම අනුකමිටුව මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සෑම මාස 2කට වරක් අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කල යුතුයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 March 2022 13:39