May 19, 2024

විමල්ගේ කට වැහෙයි! මහින්දානන්දගේ පට්ටම ගැලවෙයි! ඇමති මාරුව තීන්දුයි! Featured

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම්වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අප ඔබට දෙසැම්බර් මාසයේ වාර්තා කළා.

එහි දී සඳහන් වූයේ එම සංශෝධනය ජනවාරි මාසයේ දී සිදු කෙරෙනු ඇති බව යි.

මේ අතර පාර්ලිමේන්තුව යළි ආරම්භ කෙරෙන ජනවාරි 18 වැනි දාට ප්‍රථම මෙම සංශෝධනය අනිවාර්යයෙන් සිදු කෙරෙනු ඇති බවට ද වාර්තා වූවා.

මීට සමගාමීව රාජ්‍ය අංශයේ විවිධ තනතුරුවල ද සංශෝධනයක් සිදුවනු ඇති බවට යි පැවසෙන්නේ

දින නියම වෙයි

අපගේ එම පුවත තහවුරු කරමින් ඒෂියන් මිරර් වෙත මේවන විට වාර්තා වන්නේ අදාළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන 10 වැනි දා හෝ ඊට පෙර සිදු කිරීමට නියමිතව ඇති බව යි.

ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව සඳහන් කළා.

ආණ්ඩුව තුළ සිටින ප්‍රබල චරිත කිහිපයකගේම අමාත්‍ය ධූර මෙහි දී වෙනස් වීමට නියමිත බව වාර්තා වෙනවා.

ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයක්ම ඒ යටතට ඇතුළත්.

මහින්දානන්දගේ පට්ටම ලැබෙන ඇමති

එමෙන්ම කලක සිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍ය ධූරය ද මහින්දානන්ද අළුත්ගමගේ මහතාගෙන් ඉවත් කෙරෙනු ඇති බව ද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

එම අමාත්‍ය ධූරය එස්.එම්. චන්ද්‍රසේන මහතාට හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

චන්ද්‍රසේන මහතා මේවන විට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර ඔහු තමා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කාබනික පොහොර ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර ඇති බව සඳහන්.

එම ව්‍යාපෘති ආණ්ඩුවේ පැසසුමට ලක්ව ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඔහුට ලැබීම පිටුපස ඇති එක් හේතුවක් බවට එය පත්ව ඇති බවත් වාර්තා වනවා.

සුසිල්ගෙන් ගැලවුණු තනතුර

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වී ඇති එම අමාත්‍ය ධූරය සඳහා ද මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ නව වසරේ දී නව ගමනක් යාමට ආණ්ඩුව තීරණය කර ඇති බව යි.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන්නේ එම ගමනට උත්තේජනයක් ලෙස බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

විමල්ගේ කට වැසෙයි

මේ අතර රජයේ තනතුරු දරමින්ම පසුගිය කාලයේ රජයේ ක්‍රියා විවේචනය කළ මැති ඇමතිවරුන් පිළිබඳව යෝජිත කැබිනට් සංශෝධනයේ දී කුමන පියවරක් ගනී දැයි සැමගේම අවධානය යොමුව තිබෙනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර එම මැති ඇමතිවරුන් අතර ප්‍රමුඛයි.

මීට පෙර විමල් වීරවංශ මහතා පවසා සිටියේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ ද එය තමන්ට ගැටලුවක් නොවන බව යි.

කෙසේ වෙතත් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පසුබිමක සහ කැබිනට් සංශෝධනයක් සිදුවන බවට ඉඟි පළව ඇති මොහොතක වීරවංශ මහතාගේ එවැනි ප්‍රකාශ සැඟවී ගොස් ඇති අතර බොහෝ අවස්ථාවල දී ඔහු මාධ්‍ය මගහැර යන අයුරු ද දක්නට ලැබුණා.

ඊයේ (06) දින මේ පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් “සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි” ලෙස ඔහු පිළිතුරු ලබා දුන්නා.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් සිදුවන්නේ මෙතෙක් තනතුරු දැරූ පුද්ගලයින්ගේම තනතුරු මාරුවක් පමණක් නොවේ දැයි මාධ්‍යවේදීන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියා.

ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සිටින පිරිසගේ තනතුරු මාරු කිරීම සිදු නොකර විපක්ෂයේ සිටින්නන්ව ගෙන්වා අමාත්‍ය ධූර ලබා දීම සිදු කළ නොහැකි බව යි.

බැසිල්ගේ යෝජනාවට මහින්ද එපා කියයි

දේශපාලන ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙලෙස කැබිනට් සංශෝධනයක් සිදු කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩුව තුළින්ම පැමිණ ඇති බවට යි.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කඩිනමින් කැබිනට් සංශෝධනයකට යා යුතු යැයි ස්ථාවරයකට පැමිණ ඇති බව සඳහන්.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එයට විරුද්ධ වී තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය පමණක් මේ මොහොතේ දී සංශෝධනය කිරීමෙන් පළක් නොවන බව යි.

“මේ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරලා වැඩක් නැහැ. ලේකම්වරු, සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩලත් සංශෝධනය කළ යුතු බවයි මගේ අදහස” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඒ අනුව එම තනතුරු ආදිය ද සංශෝධනය කිරීමේ කාර්යය ද මේවන විට අරඹා ඇති බව යි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 07 January 2022 10:30

Related items