පසුගිය කාලයේදී ආනයනික කිරිපිටි දැඩි හිගයක් පැවති අතර මේ නිසා රටපුරා වෙළඳසැල් අසල කිරිපිටි පෝලිම් පවා දක්නට ලැබුණා.
කිරිපිටි මිල ඉහළ දමන්නැයි සිදු කළ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා කිරිපිටි ආනයන සමාගම් වෙළඳපොල වෙත කිරිපිටි තොග නිකුත් කිරීම අත්හිටුවා තිබුණා. කිරිපිටි හිගයක් ඇතිව තිබුණේ ඒ හේතුව නිසායි.
ඉන්පසු ඔක්තෝබර් 09 වැනිදා සිට කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 100 කින් ඉහළ ගියා.
මිල ඉහළ දැමීමෙන් පසුව කිරිපිටි සඳහා තිබූ ඉල්ලීම දැඩි ලෙස පහත වැටී ඇති බවයි වෙළඳසැල් හිමියන් පවසන්නේ. මේ වනවිට බඩු මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තත්වයට ඉහළ ගොස් තිබෙන අතර මේ නිසා බොහෝදෙනා කිරිපිටි භාවිතයෙන් වැළකී සිටිනවා.
විශේෂයෙන් කිලෝ 01 සහ ග්‍රෑම් 400 පැකට් සඳහා තිබූ ඉල්ලුම දැඩිලෙස පහත වැටී ඇති අතර ග්‍රෑම් 90 කුඩා කිරිපිටි පැකට් පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පැමිණෙන බවයි වෙළඳසැල් හිමියන් පවසන්නේ.