May 02, 2024

ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය හා අගමැතිගේ ජන්ම දිනය අදයි

November 18, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18)ට යෙදී තිබෙනවා.

ඉකුත් 2019 වසරේ නොවැම්බර් මස 16 වැනිදා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දුන්නේ එම වසරේ නොවැම්බර් 18 වැනිදාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ස 69,24,255ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 52.25කි.

මෙරට පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් 30 වසරක යුද්ධය අවසන් කිරීමේ මානුෂික මෙහෙයුමට ද නායකත්වය දුන්නා.

තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාරයක් ලෙස අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදුකෙරෙනවා.

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.

මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ විය.

Rate this item
(0 votes)