May 02, 2024

දුම්වැටියට මිල සූත්‍රය එයි - අද සිට මිල වැඩි වෙන හැටි

November 13, 2021

2022 අයවැය යෝජනාවලට අනුව දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම සිදුකර තිබෙනවා.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ වසර තුනක් තිස්සේ දුම්වැටියක මිල ඉහළ නොගිය බැවින් මෙම මිල වැඩිවීම විශේෂිත බවය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවා.

"මිල සූත්‍රය අනුව සෑම වසරකම මේ මිල වැඩිවීම සිදුවුණොත් අවුරුදු 5ක් ඇතුළත රුපියල් 100කට ආසන්න මුදලකට මේ දුම්වැටියේ මිල වැඩිවෙනවා. ඒ වගේම අපේ රටේ දිග අනුව දුම්වැටි වර්ග කිහිපයක් තියෙනවා. ඒ අනුව අවුරුදු 4ක් විතර යද්දි මේ රටේ පවතින්නේ එක දිග ප්‍රමාණයකින් යුතු දුම්වැටි පමණයි. මොකද ඒ අයට පැවැත්මක් නැති වෙනවා. මේ මිල වැඩිවීම ආණ්ඩුවට ලැබෙන බදු ආදායමක්. ඒ අනුව දුම්වැටි කර්මාන්තයට මේ මුදලේ කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නෙ නෑ. දුම්වැටි එකක මිල රුපියල් 5 කින් ඉහළ යෑමත් සමග ලංකාවට වසරකට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 8ක් වනවා."

"2020 දුම්වැටි අලෙවිය බිලියන 2.2 ක්. ඒ අනුව රුපියල් පහකින් දුම්වැටියක මිල වැඩිවීමත් සමග මිලදී ගැනීමේ හැකියාව 1.1%එකකින් පහළ බහිනවා. ඒ අනුව ලබන වර්ෂයේදී දුම්වැටි මිලදී ගැනීම මිලියන 25 කින් පහළ යනවා. ඒ අනුව දිනකට දුම්වැටි 70,000ක් අලෙවිවීම අඩු වෙන්න ඕනේ. මෙම මිල වැඩිවීම හරහා දින දෙකකට සැරයක් අවුරුදු හැත්තෑවක් ජීවත්වන පුද්ගලයකු බේරා ගැනීමට හැකි වෙනවා. 2026 වෙනකොට දුම්වැටියක මිල දැන් තිබෙන මිලට වඩා රුපියල් 25-30 අතර මුදලකින්  වැඩි වෙනවා. දුම්වැටියක මිල රුපියල් පහකින් වැඩි කිරීම හරහා ලබන අවුරුද්දේ දී මිනිස් ජීවිතය 180 බේරාගැනීමට හැකියි."

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 19:30