April 30, 2024

"අපේ මුතුන්මිත්තෝ හිටියා නම් තොපිට සාප කරනවා" - මින්නේරි ගොවීන් ගොවිතැන අත්හරී

November 13, 2021

මින්නේරිය වැවෙන් මෙවර මහ කන්නය සඳහා ජලය නිකුත් කළ ද, පොහොර නොලැබීම හේතුවෙන් සිය වගා කටයුතුවලින් ඉවත්වීමට ගොවීන් රැසක් තීරණය කර තිබෙනවා. ඔවුන් තවමත් මැසිවිලි නගන්නේ සිය වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පොහොර කඩිනමන් ලබා දෙන ලෙසයි.

මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් වගාබිම් සඳහා මින්නේරිය වැවෙන් ඉකුත් තුන් වෙනි දින වාරි ජලය නිකුත් කිරීමට පියවර ගැණුනා.

ඒ යටතේ වගා කිරීමට සූදානම් කර තිබූ වගා බිම් ප්‍රමාණය අක්කර 22,500ක්.

කෙසේ වෙතත් මින්නේරිය - හිඟුරක්ගොඩ, යෝධ ඇල, පන්සල්ගොඩැල්ල ඇතුලු ගම්මාන කිහිපයක පවුල් 8000කට ආසන්න ගොවීන් පිරිසක් අද අසරණ වී ඇත්තේ පොහොර නොමැතිවීම නිසා වගා කටයුතු සිදු කිරීමට ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ගොවීන් චෝදනා කරන්නේ වගාවන් සඳහා ජලය ලබා නොගැනීම හේතුවෙන් විශාල ලෙස ජලය අපතේ යාමක් ද සිදු වන බවයි.

කලක් තිස්සේ සිය ගැටළුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් වගා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව ගොවින් පෙන්වා දෙනවා.

"මහවැලි ජලය ලැබුණත් නැතත් මේ පොහොර ටික, මේ  අපිට තියෙනවා නම් මහකන්නයේ වර්ෂාවත් එක්ක මේ තත්වයේ තියෙන්නේ නැහැ. මේ බලධාරීන්ට මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ තණකොළ කාපියව් කියලා නිකන් දෙන්න වෙනවා. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට කන්න."

ගොවින් චෝදනා කරන්නේ වගාවන් සඳහා ජලය ලබා නොගෙන සිටීම නිසා විශාල වශයෙන් අපතේ යන බවයි.

"සතියකට ආසන්න කාලයක් ජලය නිකුත් කරලා තියෙනවා. නිකන් අපරාදේ. කුඹුරු යාය එකම එක මුකලානක් වෙලා තියෙනවා. කිසිම කෙනෙක් සැලසුම් සකස් කරලා නැහැ. මේකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම දුප්පත් අසරණ ජනතාවත් , සමස්ත ජනතාවත් ලොකු ආහාර හිඟයකට ලබන අවුරුද්ද ඇතුළත ඇතිවෙනවා ඒක ඒකාන්තයි."

ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ දිග්ගල්පිටිය ගොවින් පෙන්වා දෙන්නේ කෘෂි රසායන නොමැති කමින් සිය වගා කටයුතු අඩාල වී ඇති බවයි.

ගොවින් සිය වේදනාව මෙසේ පවසා සිටියා,

"යාය කවුරුත් කළේ නැතුවට අපි කරන්නේ මුදල් නැති නිසා. අපිට කරුණාකරලා මේ පොහොර ටික දෙන්න. දීලා ගොවියාගෙන් රටට වැඩක් ගන්න. උසස් පෙළ විභාගයට ඉන්න කොල්ලෙක් මේ දාගෙන වැඩ කරන්නේ."

"මගේ මේ ගොයමට දින 45 යි.අගල් දෙකක් උස නැති ගොයම් තියෙනවා.  දේශපාලඥයින් කරපු වරදට අපි දඬුවම් විදිනවා. මුන්ට කියලා කොහොම හරි කමක් නැහැ අපිට පොහොර ටිකයි තෙල් ටිකයි අපි සල්ලි දීලා හරි කමක් නැහැ ගන්නම්. වතුර ජලස්කන්දයක් ඇරලා තියෙන්නේ. නිරපරාදේ . අපේ මුතුන්මිත්තෝ හිටියා නම් මේවට සාප කරනවා තොපිට"

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 17:45