April 30, 2024

කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

November 12, 2021

කාලගුණ තත්ත්වය සහ මාර්ගය තවදුරටත් නිරීක්ෂණය කර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස විවෘත කරන්නේද යන්න පිළිබඳව තීරණය කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් නිසා පෙරේදා රාත්‍රී 10.00 සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු අතර, එය අද පෙරවරු 9.00 දක්වා මාර්ගය වසා තැබීමටයි බලධාරීන් තීරණය කළේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එහි ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කළා.

දැනට පහල කඩුගන්නාව කොටසෙහි මාර්ගයේ වම් පසෙහි පිහිටා ඇති සියලු ම වෙළඳසැල්ද තාවකාලිකව ඉවත් කිරීමටද උපදෙස් ලබාදුන් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත් මෙන්ම, ගාල්ල සහ මාතර, දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Rate this item
(0 votes)