May 03, 2024

තරුණයෙකුට පහරදුන් DIG රන්මල් කොඩිතුවක්කු ගැන පොලීසිය තීන්දුවක් ගනී

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබෙනවා.

රත්නපුර, කිරිඇල්ල මාර්ගයේදී පොලිස් නිලධාරීන් පිරිසක් සහ සිවිල් පුද්ගලයෙකු අතර සිදුවන බහින්බස්වීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී අදාළ පුද්ගලයා ඊට විරෝධය දක්වන ආකාරය එහි දැක්වෙනවා.

පොලිස් නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නංවා ගැනීමට උත්සහ දරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ ජීප් රථයකටයි. එහි ගමන් ගෙන ඇත්තේ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු බව පසුව අනාවරණ වුණා.

ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා ඇත්තේ අවිනීත ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගත් ජීප් රථයට ද බාධා කරමින් මාර්ග නීති උල්ලංඝණය වන පරිදි එම පුද්ගලයා රිය ධාවනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

පසුව පොලීසිය සමග ගැටුමකට උත්සහ දරා ඇති එම පුද්ගලයා පහත් වචනයෙන් පොලිස් නිලධාරීන්ට බැන වැදී ඇති බව ද වාර්තා වනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු ද ඔහුට පහරදෙන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා. අදාළ  පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂාවකට ලක් කළ අවස්ථාවේ අනාවරණ වී ඇත්තේ ඔහු මත්පැන් පානය කර සිට ඇති බවයි.

Rate this item
(0 votes)

Related items