April 29, 2024

ඕමල්පේ සෝභිත හිමි දේශපාලන හිමිනමක්: ගම්මන්පිලගෙන් චරිත සහතිකයක්

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් දේශපාලනික ස්වාමීන් වහන්සේ නමක් ලෙස උදය ගම්මන්පිල අමාත්‍යවරයා හදුන්වා දී තිබෙනවා.

වර්තමානයේ සමගි ජන බලවේගයත් ඊට පෙර එක්සත් ජාතික පක්ෂයත් උන්වහන්සේගේ ආශිර්වාදය ලැබූ බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

තෙල් ටැංකි කතාව

අමාත්‍යවරයා ඕමල්පේ සෝභිත හිමියන්ට මෙසේ චෝදනා කරන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට ලබා දීමේ කූඨ ගණුදෙනුවක් සිදු වන බවට උන් වහන්සේ මාධ්‍ය අමතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙසයි.

උන්වහන්සේ සඳහන් කල කරුණ සම්පූර්ණයෙන්ම බොරුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ වන විටත් තෙල් ටැංකි 85ක් නොව එහි තිබෙන තෙල් ටැංකි 100ම ඉන්දියාවට ලබා දී හමාර බවයි සඳහන් කරන්නේ.

එසේ ලබා දුන්නේ උන් වහන්සේගේ ආශිර්වාදය ලැබූ එක්සත් ජාතික පක්ෂය බවත් සඳහන් කරන කළ අමාත්‍යවරයා තමාට ඉතිරිව ඇත්තේ එය යළි ඉන්දියාවෙන් ලබා ගැනීම පමණක් බව පෙන්වා දෙනවා.

මුසාවාදා සිල් පදය

එතෙකින් නොනැවතුණු අමාත්‍යවරයා බුදු දහමේ කාරණාද මතක් කරමින් ඕමල්පේ සෝභිත හිමියන්ට සිහිපත් කිරීමක්ද කර තිබෙනවා.

දේශපාලන අරමුණු වෙනුවෙන් මෙසේ බොරු නොකියන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා මුසාවාදා සිල්පදය ගිහියන්ට මෙන්ම භික්ෂූන් වහන්සේලාටද අදාළ බව නමස්කාර පූර්වකව මතක් කර දෙන බවත් සඳහන් කරනවා.

අමාත්‍යවරයා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගම්මන්පිල අමාත්‍යවරයා ජාතික හෙළ උරුමයේ සිටිද්දී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කළ දේශපාලනඥයෙක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 02:30