July 02, 2024

දෙමළ සන්ධානය පිදුරු ගොඩේ ලගින සුනඛයෙක් 

උතුරු ප්‍රදේශයේ සංවර්ධනය හා ජනතාවගේ ජීවත්වීමේ මාර්ග වැඩිදියුණු කිරීමට නොහැකි වන අයුරින් පිදුරු ගොඩේ ලගින සුනඛයකු ලෙස දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව ඊ.පී.ඩී.පී. මහලේකම් හා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා යාපනය, නිරාවියඩියේ පිහිටා ඇති ඉලංගයිවේන්දන් කලා නිකේතනයේ පැවති ජනහමුවකදී ය.

පළාත් සභාව තුලින් ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ මෙන්ම දේශපාලනික කරුණුද විසඳිය හැකි බවද නමුත් පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ජනතාවට බොරු පොරොන්දු දී හැගීම් අවුස්සන ප්‍රකාශ කොට ජනතාව රවටා බලයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පිරිස් පළාත් සභාව තුල සිටිමින් සංවර්ධන කටයුතු හා දේශපාලන ප්‍රශ්ණ වලට විසඳුම් ලබාදීම වළක්වාලමින් කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනතාව සිය ජීවන මාර්ග නංවා ගැනීමට හා ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට සමාජයක් වශයෙන් එක්ව නැගී සිටිය යුතු යැයිද එසේ නොමැතිව වෙනත් කෙනෙකුට අතපා සංවර්ධනය ළඟා කරගත නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තමන් ඉන්දු ලංකා ගිවිසුම තුලින් ලැබුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් ලබාගත හැකි බව පෙන්වාදී එය ක්‍රියාවට නංවන්නැයි කියා පසුගිය කාලය පුරා හඩනගද්දී දෙමළ ජාතික සන්ධානය එය කාලෝචිත නොවන විසඳුමක් යැයි කියමින් එය කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බව ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(1 Vote)