April 29, 2024

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් ලොක්කන් පිරිසක් අස්ගිරි නාහිමියන්ට දුක කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහ පාලන රජයේ සමයේ පත්කළ ජනාධිපති කොමිසම මගින් ලබාදී තිබෙන අසාධාරණ තීන්දුව මගින් දිවිහිමියෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවරදි කිරීම සඳහා මැදිහත්වන ලෙසත් ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන්, නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරාල යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (19) අස්ගිරි මහ විහාරයට පැමිණ එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ට ලිපියක් බාර දීමට පියවර ගෙන තිබුණා.

ජනපති කොමිසම මගින් ලබාදී තිබෙන තීන්දුව නිසා යුද සමයේ සිට දිවිහිමියෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට රැකියාවද, විශ්‍රාම වැටුපද අහිමිව නිරපරාදේ මහ උළු ගෙදර තපින්නට සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබෙන බවද එම පිරිස මහනාහිමියන් හමුවේ සදහන් කළා.

එහිදී වැඩිරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහනාහිමියන් හමුවේ මෙසේ ප්‍රකාශ කර සිටියා.

"පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධි අංශයත් බාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස් වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ. සම්පූර්ණ සාමාකාමී වාතාවරණක් රටේ පැවතුණා. ඒ වාතරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300 ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය,මහ බැංකුව වගේ ස්ථාන වලත් සිදුවුණා. ඇමරිකාවට පවා  ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කරගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ. තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ විශාල පිරිසකට මේ කොමිෂම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහය දුන් නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා."

මෙම අවස්ථාවට මුලතිව් සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාරසේකර, කටාන හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න ඇතුළු චෝදනාවට ලක්ව සිටින පොලිස් නිලධාරීන් තිස් දෙනකු පමණ සහභාගි වී සිටියා.

මහනුවර - කේ.එල්.සුරවීර

Rate this item
(0 votes)

Related items