July 02, 2024

අවතැන් වූවන් ඔවුන්ට අයත් භුමියේම පදිංචි කර අවසන්

උතුරේ අවතැන් වූ ජනතාවගෙන් සියයට 95ත් සියයට 98ත් පමණ දෙනා මේ වනවිට තමන්ට අයත්ව තිබූ භූමියේම තමන්ගේ නිවාසවලම නැවත පදිංචිකිරීම අවසන් කර තිබෙන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (03) මුලතිව් කේප්පපුලව් ග්‍රාමයේ ඉදිකරන ලද නිවාස 101ක් ගම්වාසීන් වෙත බෙදාදීමේ උත්සවයට එක් වෙමිනි.

සාමය උදා වීමෙන් අනතුරුව අවතැන් ව සිටි සියලු දෙනාම ඔවුන් පදිංචිව සිටි ස්ථානවල පදිංචි කිරීම ජනාධිපතිවරයාගේ අභිලාෂය වී තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. 

නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ අරමුදල්වලින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින යුද හමුදාවේ 200ක පමණ භට පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

“අපට නොවැළැක්විය හේතු නිසා අවතැන් ව සිටි සමහර පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට සිදුවුණා. ඔවුන්ට අයිතිව තිබූ එම ඉඩම් ඒ වනවිටත් හමුදා කඳවුරුවලට අප අරන් තිබුණා. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වූයේ ඒ අයට තිබුණු භූමි ප්‍රමාණයම වෙනත් ස්ථානයකින් ලබා දීමයි. ඒ අයගේ නිවාස රජයෙන් හදලා දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණා.“ යැයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව එක් නිවසකට අක්කර කාලක් වෙන්කර නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශයෙන් මුදල් ලබාගෙන එම නිවාස ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ඒ අතරින් 29 දෙනෙකුට වගා කිරීම සඳහා ගොවිඉඩම් ඊයේ (03) නිදහස් කර ඇත.

 

Rate this item
(0 votes)