May 02, 2024

වෙන්න සෞඛ්‍ය ඇමති අනුන්ගේ වැඩ වලට උප්පැන්න ලියන්න කියාපු බඩුව - පොහොට්ටු මන්ත්‍රී

ගාල්ල දිස්ත්‍රික්කයේ අන් දේශපාලඥයන් කරන වැඩ වලට උප්පැන්න ලියා ගන්නා පොදු ජන පෙරමුණේ දේශපාලඥයෙකු සිටින බව එම පෙරමුණම නියෝජනය කරන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරනවා.

තමා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී , සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කොට සල්ලි වෙන් කර හදපු ව්‍යාපෘති තමා නැතුව වෙන අය පැමිණ විවෘත කළ අවස්ථා තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

රෝහලටත් උප්පැන්න ලියන්නයි ලෑස්තිය

ගාල්ලේ හෙල්මුක් කෝල් රෝහල තමා හැදූ හැටි පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමා ඉතා අසීරුවෙන් ඒ මහතාව සම්බන්ධ කොටගෙන , මුදල් වෙන් කරගෙන එහි වැඩ පමාවද්දී කොන්ත්‍රාත්කරු සමග පවා ගැටුම් ඇති වූ බව සඳහන් කරනවා.

දැන් එම රෝහල හදා අවසන් වන අතර ඊට උප්පැන්නේ ලිවීමට ඇතමුන් බලා සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ගාල්ලේ උසාවි සංකීර්ණය හදන්න සල්ලි සොයාගත් හැටි බොහෝ දෙනකු නොදන්නා බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඊටත් උප්පැන්න සහතිකේ ලිවීමට කට්ටියක් සූදානමින් සිටින බවයි පෙන්වා දෙන්නේ.

තමා හදපු වතුර ව්‍යාපෘති වලට මෙන්ම තමා මුදල් වෙන් කරගෙන හදපු පාරවල් වලටත් අනුන්ගේ වැඩ වලට උප්පැන්න ලියන්න ප්‍රසිද්ධ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලඥයා සූදානම් වී සිටින බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

මූණ බැලුවම තාත්තා කවුද දන්නවා

කාගේ නමින් උප්පැන්න සහතිකය ලිව්වත් ළමයාගේ මුහුණ දැක්කම ජනතාව දන්නවා ළමයගෙ හරි තාත්ත කවුද කියලා යයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිදරව් කළ මෙම සිද්ධීන් පිටුපස සිටින්නේ වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා නොවේදැයි යන්න නැගූ ප්‍රශ්නයට පිළිතුරක්ද දුන්නා.

ඒ කවුදැයි නම් ගම් කීමට අවශ්‍ය නැති බවත් ඔහු කවුදැයි දිස්ත්‍රික්කයේ ජනතාව දන්නා බවයි ඊට පිළිතුර ලෙස මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මීළඟ සෞඛ්‍ය ඇමති

මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය උසුලන වෛද්‍ය පතිරණ මහතා තව නොබෝ දිනකින් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම භාර ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුව තුළ ගාල්ල ස්ත්‍රික්ක නියෝජනය කරන පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිටියද දිස්ත්‍රික්කයට ලැබී තිබෙන්නේ එක් කැබිනට් අමාත්‍ය ධූරයක් පමණයි.

ඒ වෛද්‍ය පතිරණ මහතාට ලැබී තිබෙන වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය.

චන්දිම වීරක්කොඩි මහතා යහපාලන ජාතික ආණ්ඩුවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර  වත්මන් ආණ්ඩුවේ කිසිදු ධූරයක් ඔහුට ලබා දුන්නේ නැහැ.

.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 August 2021 08:16