May 15, 2024

වජිර, කබීර්ට ඇට වූ උගුල අතේ පත්තු වෙයි

සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති කර බෙදීමක් ඇති කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම කාර්ය භාරය වී තිබෙනවා.

එජාපයේ වැඩි අවධානය

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේදී පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසු වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පිරිසගේ ප්‍රමුඛත්වය යොමු වී තිබෙන්නේ ඒ වැඩපිළිවෙළටයි.

එම වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ඇට වූ උගුලක් අතේ පත්තු වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

සුපිරි හෝටලයක හමුව

තොරතුරු වාර්තා වන ආකාරයට මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ කොළඹ සුපිරි හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුරයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී ඇති මෙම උත්සවයේදී අබේවර්ධන මහතා කබීර් හෂීම් මන්ත්‍රීවරයාට යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

වජිරගේ ලණුව

ඒ  එ.ජා.පය පොදු වැඩ පිළිවෙළක් හදන බැවින් ඊට එකතු වන ලෙසයි.

එහෙත් ඊට දැන්ම එකතු වුණොත් සිය මන්ත්‍රී ධූරය හෂීම් මහතාට අහිමි වීමට ඉඩ තිබෙන බවද ඒ සමගම හෂීම් මන්ත්‍රීවරයා අමාරුවේ දැමීම සඳහා අබේවර්ධන මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

එනකොට හොඳාකාරව තේරුම්ගත් හෂීම් මහතා පෙරළා අබේවර්ධන මහතා අමතා ප්‍රකාශ කොට තිබෙන්නේ පොදු හතුරා කවුද යන්න හඳුනාගෙන තිබෙන බැවින් එය පරාජය කරන්න සිය පාර්ශ්වය සමඟ එකතු වන ලෙසයි.

මේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෂීම් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය ප්‍රධානීන් වෙත අකුරක් නෑර දැනුම් දී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලොකුම බාධකය

වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගය නිර්මාණය කිරීම සඳහා එ.ජා.පය දෙකඩ කිරීම අවශ්‍ය වට පිටාව සැකසූ පුද්ගලයෙකු ලෙස ප්‍රකට අතර එ.ජා.ප ය සහ සමගි ජන බලවේගය එකතු වීමට ඇති ලොකුම බාධකය ලෙසද පිළිගැනෙනවා.

මේ වන විට එ.ජා.ප සභාපති ධුරය උසුලන අබේවර්ධන මහතාගේ මීළඟ ඉලක්කය වික්‍රමසිංහ මහතාගෙන් පසු පක්ෂ නායකත්වය ලබා ගැනීම බව සිරිකොතේ බොහෝ දෙනෙකු දන්නා රහසක්.

Rate this item
(2 votes)
Last modified on Saturday, 07 August 2021 16:11