May 04, 2024

රිෂාඩ්ගේ නිවසේ සිටි තරුණියන් 3ක් මිය ගිහින් - ඇඟ කිළිපොලායන තවත් කරුණු එළියට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාරකම් කළ 16 හැවිරිදි දැරියට අමතරව එම නිවසේ මෙහෙකම් කළ තවත් මෙහෙකාරියන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා අභිරහස් ලෙස පිළිස්සීමෙන් මරණයට පත් වූ දැරියගේ සිදුවීම පිළිබඳව විමර්ශනය කරන පොලිස් කණ්ඩායම විසින් එම නිවසේ මීට පෙර සේවය කර ඇති මෙහෙකාරියන් පිළිබඳව සිදු කළ සොයා බැලීමක දී මෙය අනාවරණය වී ඇති බව යි වාර්තා වන්නේ.

මියගොස් ඇති බවට වාර්තාවන මෙහෙකාරියන් දෙදෙනොගෙන් එක් අයෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව පැවසෙනවා.

අනෙක් තැනැත්තිය මියගොස් ඇති බවට පැවසෙන්නේ හදිසියේ අසනීප වීම හේතුවෙන්.

පසුගිය දා මරණයට පත් වූ 16 හැවිරිදි මෙහෙකාරිය කාලයක සිට දූෂණය වී ඇති බව ඇගේ සිරුර පරීක්ෂා කිිරීමේ දී අනාවරණය වූවා.

එමෙන්ම බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි සේවය කළ තවත් මෙහෙකාරියක් අවස්ථා කිහිපයක දී දූෂණය වී ඇති බව ද මීට දින කිහිපයකට පෙර හෙළි වූවා.

ඇය එලෙස දූෂණය වී තිබුණේ මන්ත්‍රීවරයාගේ මස්සිනාගෙන්වන අතර අදාළ තැනැත්තා මේවන විට අත්අඩංගුවේ පසුවනවා.

එමෙන්ම බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා විසින් ඇය දූෂණය කර ඇත්තේ මන්ත්‍රීවරයාට අයත්ව තිබූ රජයේ නිල නිවසක් තුළ දී බව ද පැවසෙනවා.

මියගිය 16 හැවිරිදි දැරිය මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ආ තැරැව්කරු විසින් බදියුදීන් පවුලේ විවිධ පාර්ශවයන් වෙත තවත් මෙහෙකාරියන් 11 දෙනෙකු පමණ සපයා ඇති බවට මේවන විට අනාවරණය වී ඇති අතර එම 11 දෙනාගෙන් 03කු මේවන විට මියගොස් තිබීම විශේෂත්වයක්.

ජීවතුන් අතර සිටින තරුණියන් 08 දෙනා කිසියම් හිංසනයකට හෝ ලිංගික අතවරයකට පත්ව ඇත්දැයි සෙවීම ද පොලීසිය අරඹා තිබෙනවා.

Rate this item
(14 votes)
Last modified on Tuesday, 27 July 2021 12:34