May 04, 2024

ඉශාලිනි සිටි කළුවර කාමරය ගැන අධිකරණයේ දී හෙළිවෙයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකම් කරමින් සිටිය දී හදිසි ගිනි ගැනීමකට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉශාලිනි ජූඩ් කුමාර් නම් 16 හැවිරිදි බාලවයස්කාරිය පිළිබඳව ඊයේ (24) දිනයේ දී අධිකරණයේ දී සංවේදී කරුණු කිහිපයක් හෙළිව තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙම අනාවරණය සිදුකළා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ ඉශාලිනිට රිෂාඩ් බදියුදීන් මහතාට අයත් නිවසේ නවාතැන් ගැනීමට ඉඩ ලබාදී තිබුණේ මුළුතැන් ගෙයට පිටතින් ඇති කාමරයක බවයි.

එම කාමරය අඩි 06 සහ 04 ප්‍රමාණයෙන් යුතු කුඩා කාමරයක් බවත්, එම කාමරයට විදුලිය ලබාදී තිබුණුද එහි අලෝකය සැපයීමට විදුලි බල්බ යොදා නොතිබුණු බවද ඒ මහතා පවසා සිටියා.

මෙම කුඩා කාමරයට විදුලි පංකාවක් සවි කර තිබුණත් එයත් ක්‍රියා විරහිත තත්ත්වයේ තිබී ඇති බවද අනාවරණය වූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා සිටියා.

මාස 08ක කාලයක් තිස්සේ ඉශාලිනි මෙම කාමරයේ රාත්‍රී කාලය ගෙවා ඇත්තේ හුදකලාව බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වුණා. එහිදී දිලීප පිරිස් මහතා අධිකරණය වෙත පවසා සිටියේ නිවසෙන් පිහිටි මෙම කාමරය තුළ ඇය ඉතාමත් අනාරක්ෂිත ජීවිතයක් ගත කර ඇති බවයි.

Rate this item
(0 votes)