May 10, 2024

ගුරුවරුන්ට ඇමැති නාමල්ගෙන් උපදෙස්

මේ වන විට දිවයින පුරා සියලුම පාසල්වල සිසුන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. එමෙන්ම ගුරුවරුන් විසින් සිදු කරනු ලබන විරෝධතාවය නිසා සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා. ඒ වගේම සිසුන් අපහසුතාවයට ද පත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ සිසුන් අපහසුතාවයට පත් නොකර අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් සිදු කරන ලෙසයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

"ගුරුවරුන් මේකට ළමයින් බිල්ලට ගන්න හොඳ නැහැ. මේකේ අවසානය ආණ්ඩුවවත්, පොලීසියවත් නෙවෙයි මේ ප්‍රශ්නයට පැටලවෙන්නේ අහිංසක දරුවෝ. ඒ නිසා දරුවෝ ගැන හිතලා අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් පුළුවන් අමාත්‍යවරයා එක්ක සාකච්ජා කරන්න. අපේ ආණ්ඩුව නිරන්තරයෙන් ජනතාවට ඇහුන්කම් දෙනවා. ආණ්ඩුවට දන්වන්න ළමයිව බිල්ලට තියා ගන්නොනේ නැහැ. ඒක හරි වැරදි කාරණයක්."

පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු 33 දෙනෙකුගෙන් යුතු පිරිස අත්අඩංගුවට ගෙන ඇප හිමි වුවද නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම පිරිස් මුලතිව්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන එනු ලැබුවා.

උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද විවිධ අදහස් පළ කළා.

ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේ පැවසුවා.

"ස්ටාලින් සහ කණ්ඩායමට තව නීතියක්, අර පැත්තෙන් හංසමාලිලා කෑ ගහනවා අපිව අරන් ගියා කියලා, තවත් ඒවගේ බලගතු කණ්ඩායමක් අරන් ගියාම ඒගොල්ලෝ තව විදියකට කියනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තව නීතියකුත් මේ ලොකු මිනිස්සුන්ට තව නීතියකුත් වෙන්න බැහැ රටක. කවුරු වුණත් අනිවාර්යයෙන්ම නිරෝධායන නිතිය ක්‍රියාත්මක කළ යුතුයි."

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවසුවා.

"නිරෝධායන කිරීම දඬුවමක් හැටියට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එක රටක් නීති ගොඩක්. තමන්ට ඕනේ අයව ඉලක්ක කරගෙන නිරෝධායනයට ලක් කරන්න මර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් මේ හැමදේකින්ම ජාත්‍යන්තර වශයෙන් අපි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පටන් ගන්නවා. රට දිහා විශේෂයෙන්ම උනන්දුවෙන් ජාත්‍යන්තරය බලාගෙන ඉන්නවා."

සිංහලේ සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙසේ පැවසුවා.

"මේ රට අගාදයට අරගෙන යන්න මේ වෙලාවේ අධ්‍යාපනය බිමට ඇදලා දාන්න කටයුතු කරන මේ ගුරු සංගම් යැයි කියා ගත්ත ජේවීපී ඇතුළු මේ අනෙකුත් දේශපාලන අවස්ථාවාදී, අන්තවාදී නඩයට උඩගෙඩි දෙන ඒ න්‍යාය පත්‍රයට කටයුතු කරන මේ ජෝසප්ලා වැනි ඇතැම් භික්ෂු වේශධාරීන් ඇතුළු කණ්ඩායම සිද්ධ කරගෙන යන කටයුත්ත තනිකරම මේ රට ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කරගෙන යන ක්‍රියාවලියක්."

සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ පුජ්‍ය ඕමාරේ කස්සප හිමි මෙසේ පැවසුවා.

"උද්ඝෝෂණකරුවන්ට පොලිසිය යම් යම් ආකාරයට දඬුවම් කරනවා නම්, හිරිහැර කරනවා නම් ඒකත් අපි හෙලා දකිනවා. උද්ඝෝෂණය කියලා කියන්නේ යම් ඉල්ලීමක් කරන එක. එතැනදී ඒ අය කඩාකප්පල්කාරී ක්‍රියාවට යන්න ඉඩ නොදී ඒ අයට අනවශ්‍ය පීඩනයක් දෙන්න හොඳත් නැහැ. ඒකට පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ."

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙසේ පැවසුවා.

"ගුරුවරුන්ට ආණ්ඩුවත් එක්ක හෝ පොලිසියත් එක්ක හෝ ප්‍රශ්නයක් නෙවෙයිනේ තියෙන්නේ. ගුරුවරුන්ට තියෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් සහ පවත්නා අධ්‍යාපන ක්‍රමය පිලිබඳ ආණ්ඩුව ගෙනියන පරිපාලනය සහ කලමනාකරණය පිලිබඳ ප්‍රශනයක්." 

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 16:24