June 23, 2024

ගම්මන්පිල දිගටම සටනේ: මම වගකියන්නේ ඒ දෙන්නට විතරයි - බැසිල් ඉදිරියේම කියයි Featured

තමාව බලශක්ති අමාත්‍ය ධුරයට පත්කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනපතිවරයා බැවින් තමාට ඉහළින් සිටින්නේ ඔවුන් දෙදෙනා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) දැනුම් දුන්නා.

ඒ සමගි ජන බලවේගය මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රු.කෝටි 60,000ක වියදමින් අලුතින් ඉදි කිරීමට යෝජිත නව පිරිපහදුව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකාවට ලබා දෙන ලෙස ඉල්ලා ඇමරිකානු තානාපතිනිය අමාත්‍යවරයාට කළ බලපෑම කළේ තානාපතිනියගේ  වුවමනාවටද එසේත් නැතිනම් මෙරට සිටින අමෙරිකානු පුරවැසියෙකුගේ  වුවමනාවට දැයි විජේසිරි මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදීමය.

දුන් පිළිතුරේ විශේෂත්වය

ගම්මන්පිල අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශය කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද දිවුරුම්දී සභාවේ අසුන්ගෙන සිටියදී වීම විශේෂත්වයක්.

ජනපතිවරයා හා අගමැතිවරයා තමන්ගේ අමාත්‍යාංශයේ කටයුතු කිසිවකට , කිසිදිනෙක බලපෑමක් සිදු කොට නොමැති බව හෙළිදරව් කරන අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ කටයුතු ගැන තොරතුරු පමණක් විමසා තිබෙන බවයි සඳහන් කරන්නේ.

මම කාටත් යටත් වෙන්නේ නැහැ

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ටෙන්ඩර්ය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය හැකි බැවින් ප්‍රසිද්ධියේ ටෙන්ඩර් කැඳවා එය ලබාදෙන බවත් ඒ සඳහා ඇමරිකානු තානාපතිනියට සම්බන්ධ පාර්ශ්වයකට වුවද ටෙන්ඩරයක් ඉදිරිපත් කළ හැකි බව තමා ඇමරිකානු තානාපතිනියට ලිඛිතව දැනුම් දුන් බවයි.

මෙම ගනුදෙනුව ශ්‍රී ලංකාවට ඉතාම වාසිදායක ආකාරයට තමා සිදු කරන බව සඳහන් කරන අමාත්‍යවරයා තමා මෙම ගනුදෙනුවේදී කිසිවකුගේ බලපෑමකට යටත් නොවන බවට සහතිකයක් දෙන බවයි ප්‍රශ්නය ඇසූ චමින්ද විජේසිරි මහතා  ඇතුළු විපක්ෂය අමතා ප්‍රකාශ කරන්නේ.

බැසිල් සමග තිබෙන ගැටුම

තෙල් මිල ඉහළ දැමීමේ වගකීම ගෙන බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදු ජන පෙරමුණ  ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා උදය ගම්මන්පිල අමාත්‍යවරයා වෙත ලිපියක් යැවූ අතර එම ලිපිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවට රාවයක් තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 11:52