June 23, 2024

බැසිල් ඇමතිකමේ දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ යි.

ඔහුට හිමි වී ඇත්තේ මුදල් අමාත්‍ය ධූරය යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඉන් අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයට තරග වැද ඔහු පාර්ලිමේන්තුවට පිවිසියා.

එවක බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය ද හෙබවූවා.

මේවන විට “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද  බැසිල් මහතා කටයුතු කරනවා.

දිවුරුම් දීමේ අවස්ථාව සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 09 July 2021 06:13