April 28, 2024

රන්ජන් නිදහස් කරන්න : වරදට දඬුවම් වින්දා හොදටම ඇති - හිටපු කථානායක සටන අතට ගනි

සිර දඬුවමක් විඳිමින් සිටින රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීමේ සටනට හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද එක් වී තිබෙනවා.

මානුෂිකව සිතා බලන්න

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයාද වන කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ඒ සම්බන්ධයෙන් බලය තිබෙන ජනපතිවරයා ඇතුළු පාර්ශව වලින් ඉල්ලීමක් කරනවා.

ඒ රංජන් රාමනායක මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැවින් ඔහුට ලබාදී ඇති දඬුවම පිළිබඳව මානුෂිකව සිතා බලා තීරණයක් ගන්නා ලෙසයි.

ඒ සඳහා හේතු සාධකද පෙන්වා දෙන ජයසූරිය මහතා රටේ නීතිය එක් එක් අයට එක් එක් ආකාරයට යොදා ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබෙන බවත් ආණ්ඩුවේ දේශපාලනඥයින්ට එක නීතියක් හා විපක්ෂයේ දේශපාලනඥයින්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන බවයි සඳහන් කරන්නේ.

දකුණු ආසියාවේ සුපිරි තරුවක්

දකුණු ආසියාවේ ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පියෙකු වන රන්ජන් රාමනායක මහතා පුද්ගලයකු ලෙසද ඉතා නිහතමානී චරිතයක් බව පෙන්වා දෙන ජයසූරිය මහතා රටේ දේශපාලනඥයන් අරඹයා නිරන්තරයෙන් අසන්නට ලැබෙන වංචා හෝ දූෂණ කිසිවකට හවුල් වී නැති අවංක පුද්ගලයකු බවත් සඳහන් කරනවා.

අධිකරණයට රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලැබුවේ යැයි කියන අපහාසයට ඔහු මේ වන විටත් වන්දි ගෙවා තිබෙන බව විශේෂයෙන් අවධාරණය කරන ජයසූරිය මහතා ඔහු කළ වරදට මෙතරම් බරපතළ දඬුවමක් ලබා දිය යුතුද යන්න පිළිබඳව සමාජය ප්‍රශ්න කරන බවත් පෙන්වා දෙමින් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේද සංවාදයක් පවතින බවයි.

ලොව අන් රටවල ආදර්ශය ගන්න

මෙවැනි වරද වලට ලොව අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රංජන් රාමනායක මහතා කළ අධිකරණයට අපහාස කිරීමේ වරදට මේ මෑතකදී ලබාදී තිබෙන දඬුවම් පිළිබඳවද සලකා බැලීමේදී මේ සම්බන්ධයෙන් අපේ රට තුළද සංවාදයක් ඇති වීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා යහපත් තත්ත්වයක් බවයි ජයසූරිය මහතාගේ මතය වන්නේ.

රට මුහුණ දී සිටින දේශපාලන හා ආර්ථික බංකොලොත්භාවය පිළිබඳවද සිය නිවේදනයෙන් විග්‍රහයක් කරන ජයසූරිය මහතා රංජන් රාමනායක මහතා වෙනුවෙන් ජනපති සමාව ලබා දිය හැකි නීත්‍යානුකූල හා සම්ප්‍රදානුකූල තත්ත්වයන් සලකා බලා තීරණයක් ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.

තමා කරන මෙම ඉල්ලීම රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙසද ජයසූරිය මහතා සිය නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා මේ වන විට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර හතරක  සිර දඬුවමක් විඳිමින් සිටින අතර ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය ද අහෝසි වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 July 2021 15:51