June 22, 2024

මල්ලි බැසිල් ආර්ථිකය ගොඩ ගන්නවා කියන්නේ අයියා මහින්ද ආර්ථිකය අනලා තියනවා කියන එකයි

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සිය අදහස පළ කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීධුරයක් හරහා ඇමැති ධුරයකට පැමිණි පසු රටේ ආර්ථිකය යළි ගොඩනඟන බවට පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ වාදීන් පවසන අදහසට පිළිතුරු දෙමින් රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රාජපක්ෂ පවුලේ කවුරු ආවත් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බවයි.

ඊට හේතුව රටේ ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුත්තේද රාජපක්ෂලා නිසා වීම බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මහින්ද ආර්ථිකය අනා තිබීම

බැසිල් රාජපක්ෂ මහතා පැමිණි විට ආර්ථිකය ගොඩ යනවා යැයි සදහන් කිරිමෙන් සනාථ වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා හැටියට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අනා තිබෙනවා යැයි යන්න තහවුරු කිරීමක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයකු නොවුනට වත්මන් ආණ්ඩුවේ තීරණාත්මක සාධකයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා දුප්පත්කම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස කළේ මොනවා දැයි ප්‍රශ්න කරනවා.

ද්විත්ව පුරවැසි විරෝධය එසේමයි

ද්විත්ව පුරවැසියෙකු රටේ ධූර දැරීම පිළිබඳව සිය විරෝධය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පළ කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාට අමෙරිකානු පුරවැසිකමින් ඉවත් වී රටේ පුරවැසිකම පමණක් තබා ගැනීමට දේශමාමකත්වයක් , රටට ආදරයක් නැත්නම් තවත් ඒ ගැන මොනවා කතා කතා කරන්නදැයි ප්‍රශ්න කරනවා.

එනිසා ඒ චෝදනාවෙන් තමන් නියෝජනය කරන සමඟ එන බලවේගය නිදහස් බවයි මන්ත්‍රිවරයාගේ මතය වන්නේ.

ද්විත්ව පුරවැසිභාවයට එරෙහි ආණ්ඩුවේ මර හඬ නිහඬයි

දැන් ඔය ගැන කතා කළ යුත්තේ තම පාර්ශවය නොව ඊට විරුද්ධව මර හඬ නැගූ ආණ්ඩුවේම පාර්ශව බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

සිය පාර්ශ්වය යළිත් ආණ්ඩුවක් බිහි කළ විට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවා තිබූ නීති රීති යළි ගෙන එන බවයි මන්ත්‍රීවරයා හෙළි කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 06:23