කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙනවා.
විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ජූලි මස මුල ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිත අතර ඊට සමගාමීව ඒ ආසන්නයේම මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී.ල.නි.ප යටත් ඇමති ධූරයක්
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීමට ඉඩකඩ තිබෙන බව ඇතැම් මාධ්‍ය මේ වන විටත් වාර්තා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කළ කළ විමසීමකදී දැන ගන්නට ලැබුණේ හිටපු ජනපතිවරයා කැබිනට් අමාත්‍ය ධූරයක් භාරගැනීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
දිගටම සාමාන්‍ය මන්ත්‍රී
හිටපු ජනපතිවරයා වත්මන් ආණ්ඩුව තුළ දිගටම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ශ්‍රී.ල.නි.ප යේ මූලිකත්වයෙන් යළිත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම හිටපු ජනපතිවරයාගේ අරමුණ වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.
පොරොන්දු වූ තුන් වැනි අමාත්‍යධූරය
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර තියෙන එකඟතාවයට අනුව ශ්‍රී.ල.නි.ප යට කැබිනට් අමාත්‍ය ධුර තුනක් පොරොන්දු වී තිබුණ ද ලබා දුන්නේ කැබිනට් අමාත්‍ය ධූර දෙකක් පමණයි.
එම අමාත්‍ය ධුර දෙක නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ට ලබා දුන් අතර පොරොන්දු වූ පරිදි තුන් වැනි කැබිනට් ඇමතිධුරය ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප ය කිහිපවිටක්ම සිය විරෝධය පොදුජන පෙරමුණ වෙත දක්වා තිබුණා.
එසේ තුන්වෙනි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නා නම් එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබුණේ ශ්‍රී.ලනි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා බවයි වාර්තා වන්නේ.