May 17, 2024

"ඔය ලෙඩේ මං ගාවට දාන්න එපා" - අනුර කුමාර ගයන්තගෙන් කළ ඉල්ලීම

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලඟ ආසනයක්  නොපනවන ලෙස ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාද ඉල්ලීමක් කොට තිබෙනවා.

ඔහු එම ඉල්ලීම කොට තිබෙන්නේ පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර දින එනම් 21 දින පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

අනුර කුමාරගේ ඉල්ලීම

දැනගන්නට තිබෙන ආකාරයට එම රැස්වීමේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසා තිබෙන්නේ "රනිල් වාඩිවෙන්නේ ඔයා ළඟ නේද " කියාය.

ඊට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායක රැස්වීමට සහභාගි වී සිටී සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක මහතා අමතා ඉල්ලීමක් කොට තිබෙන්නේ "මේ රනිල් මගේ ගාවට නම් දාන්න එපා" යයි සඳහන් කරමින්.

වෙනත් අසුනක් ලබාදීම

අවසානයේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තීරණය කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අසුනක් පැනවීමටයි.

ඒ අනුව ඔහුට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ආසන්නයේ 13 වැනි අසුන ලබාදීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා තීරණය කොට තිබෙනවා.

කලින් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව තිබුනේ අනුර කුමාර දිසානායක මහතා ළඟ 16 වැනි අසුනය.

රතු කොල අලි පැටව්

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අසුන් ගැනීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ළඟ අසුන හිමිව තිබීම පිළිබඳව වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමටත් පෙර සිටම විශාල ප්‍රසිද්ධියක් ලැබුණේ ඔහු හා ආණ්ඩු කුමාර දිසානායක මහතා අතර තිබෙන කිට්ටු හිතවත්කම මුල්කොටගෙනය.

මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු අසුන් ගැනීම "තනි අලියා රතු කොල අලි පැටියා" ළඟ අසුන් ගැනීමක් ලෙසද හඳුන්වනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂයෙන් යහපාලන ආණ්ඩු සමයේ ඉතා සමීප හිතවත්කමක් පැවැත්වූවා යයි මතයක් රට තුළ තිබුණු අතර මේ නිසාම එදා ජ.වි.පෙ මන්ත්‍රීවරුන් "රතු කොල අලි පැටව්"යනුවෙන් ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හැඳින්වූවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 13:44