May 15, 2024

හොර පාරෙන් කොළඹ ආවොත් පොලීසියෙන් අලුත් දඩුවමක් (VIDEO)

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ අද(07) සිදුකෙරුණා.

අප වාර්තාකරු පැවසූවේ උදෑසන කාලයේ මෙම ස්ටිකරය අලවන ස්ථානයේ යම් වාහන තදබදයක් හටගෙන තිබූ බවයි.

ක්ෂේත්‍ර 11ක් මුල් කර ගනිමින් වර්ණ 11කින් යුත් ස්ටිකරයක් ඇලවීම මෙලෙස ක්‍රියාත්මක කෙරුණේ කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදීයි. 

ඒ අනුව සෞඛ්‍ය සේවා සඳහා කොළ වර්ණය ද, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා නිල් වර්ණය ද, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට රතු වර්ණය ද, අත්‍යාවශ්‍ය සේවා සැපයීමට කහ වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

මීට අමතරව, රාජ්‍ය අංශයේ රාජකාරි සඳහා රෝස වර්ණය ද, ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුඹුරු වර්ණය ද, පිසූ ආහාර ප්‍රවාහනයට අළු වර්ණය ද, පුද්ගලික අංශයේ රැකියා, බැංකු සහ මූල්‍ය ආයතනය ඇතුළු දම් වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

සන්නිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණය ද, විදේශගත වීම සඳහා සුදු වර්ණය ද, මානුෂීය හේතුන් මත රෝගීන් ප්‍රවාහනය, රෝගීන් බැලීම, අවමංගල්‍ය හෝ වෙනත් කටයුතු සඳහා කළු වර්ණය ද වාහනවල අලවනු ලැබුවා.

කොළඹට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් මඟ හැරීම සඳහායි පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ.

ඒ අනුව, ප්‍රමාදයකින් තොරව රාජකාරි සඳහා වාර්තා කරන පුද්ගලයන්ට මෙම නව ක්‍රමවේදයෙන් පහසුවක් ඇතිවේයැයි අපේක්ෂා කරනවා.

මේ අතර, මෙම ක්‍රමවේදය අද දිනයේ සාර්ථකව ක්‍රියාත්මක වුණත්, ඇතැම් ස්ථානවල ස්ටිකර්වල හිඟතාවයක් ද පැවති බව වාර්තා වුණා.

බලපත්‍ර නැත්නම් නිරෝධායනයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බවයි.

ඒ අනුව, යම් පුද්ගලයෙක් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බවයි අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

එම පිරිස් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට අමතරව මෙම පියවර ද ගනු ඇති අතර ඊයේ දිනයේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ඒ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ කොළඹ නගරයට ඇතුළු වූ වැඩිම වාහන ප්‍රමාණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම වාහන සංඛ්‍යාව 4,802ක් ලෙස වාර්තා වුණා.

මේ අතර ඊයේ දිනයේත් මාරක රිය අනතුරු 3ක් වාර්තා වුණා. 

එලෙස රිය අනතුරුවලට ගොදුරු වන බොහෝ පිරිසක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ අය බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items