June 22, 2024

බැසිල් රට හැර යාමත් සමග විමල් පිලේ වර්ජනයත් අවසන්

බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම එම සන්ධානයට අයත් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් පැවැත්වීමට හැකිව තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ 14 නියෝජිතයින් කලකට පසු රැස් වී තිබේ.

මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ පොදුජන පෙරමුණ සන්ධානයේ රැස්වීම් තුනක්ම එම සන්ධානයේ සන්ධානගත පක්ෂ වල නායකත්වය දරන විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ හා සංවිධාන 12 විකල්ප කණ්ඩායමේ නායකයින් වර්ජනය කරන ලදී.

ඊට හේතු වූයේ තනි පක්ෂයක් වුවත් පොදුජන පෙරමුණ වෙනුවෙන් නියෝජිතයින් 51 දෙනෙකු සහභාගි කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය දරන බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලය ලැයිස්තු සකස් කිරීමය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම එම සන්ධානය නියෝජනය කරන පක්ෂ 14 නායකයින්ගේ රැස්වීමක් මිස පොදු ජන පෙරමුණ සන්ධානයේ සමුළුවක් නොවන බැවින් එය වර්ජනය කරන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා මීට පෙර ඒෂියන් මිරර් වෙත අදහස් පල කර තිබුණි.

ඉන්පසු බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු පුද්ගලයකු බවත් තම කණ්ඩායමට පුද්ගලයන් සමග දේශපාලන ප්‍රශ්න නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායක රැස්වීම පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හැටියට පවත්වන දිනෙක ඊට සහභාගි වන බවය.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව පවත්වනු ලැබූ පළමු රැස්වීම වූ පොදුජන පෙරමුණ සන්ධාන රැස්වීම මීට ටික දිනකට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඊට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ලේකම් සාගර කාරියවසම් මහතාද සහභාගී වී තිබුණි.

ඔහුට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද , එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එහි ලේකම් මහින්ද අමරවීර මහතාද , ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ , වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර , පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , කොමිනිස්ට් පක්ෂය නියෝජනය කරමින් වීරසුමන වීරසිංහ , ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය තිස්ස විතාරණ ,යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග , ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සන්ධානයේ පක්ෂ නායකයින් පමණක් මෙම රැස්වීමට සහභාගි විය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා වී ඇති අතර එය සම්මත කරගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන මෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

අදාල රැස්වීම ඉතා සුහදව පැවැත්වුණු බවත් වරාය නගරය පිළිබඳව කරුණු දැක්වීමට පැමිණ සිටි මහාචාර්ය ජී.එල්.පීරිස්  අමාත්‍යවරයා සහ සහ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පක්ෂ නායකයින්ට ඕනෑම විවාදාත්මක ප්‍රශ්නයක් ඇසීමට ඉඩ සලසා තිබූ බව ඊට සහභාගි වූ ගෙවිඳු කුමාරතුංග මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 20:44