July 02, 2024

කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති රිමාන්ඩ්

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතා ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද(02) නියෝග කර තිබේ.

එම ඇප කොන්දේසි කඩ කිරීම හා එම නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හේතුවෙන් විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතා අද(02) අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත. 

එම විදුහලේ වෙනුෂා ශිෂ්‍යාවගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මුදාහැර තිබිණි.

සැකකාර විදුහල්පතිවරයා මාවතගම පිහිටි නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 18 වැනිදායි. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 “අ” වගන්තියට සහ 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයන්ට අනුව සිසුවියට බැණ වැදීම කෲරත්වයට පත් කිරීමක් ලෙස සලකා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

වෙනුෂා ශිෂ්‍යාව සියදිවි හානිකර ගැනීමට හේතුව විදුහල්පතිවරයා විසින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම බව ඇගේ අකුරින්ම පැහැදිලිව ලියන ලද ලිපියක් පදනම් කර ගනිමින් අදාළ පරීක්ෂණ පවත්වා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 April 2014 12:16