June 22, 2024

විමල්ට ඔත්තුව ඇවිත් තිබෙන්නේ පොහොට්ටු කාර්යාලයෙන් Featured

මීට ටික දිනකට පෙර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කැඳවා තිබූ පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පක්ෂ නායක කණ්ඩායමක් සහභාගි නොවූයේ පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයෙන් ලැබුණු ඔත්තුවක් හේතුවෙන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව එම සාකච්ඡාවට පෙර දින රාත්‍රියේදී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පොදුජන පෙරමුණ තුලම සිටින විකල්ප කණ්ඩායමේ පක්ෂ නායකයින් සාකච්ඡාවක් පවත්වමින් සිටින අතරතුර බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණ කාර්යාලයේ සිටින විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ඔත්තුකරුවෙකුගෙන් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

එම ඔත්තුකරු විමල් වීරවංශ අමාත්‍යවරයාට දැනුම්දී තිබෙන්නේ පසුදින පැවැත්වෙන පොදු ජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට පොදු ජන පෙරමුණ වෙනුවෙන් 51 දෙනෙකුට ආරාධනා කොට ඇති බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ සාමාජික පක්ෂ සංඛ්‍යාව 14 ක් වන අතර පොදු ජන පෙරමුණ වෙනුවෙන්ම 51 දෙනෙකුට ආරාධනා කිරීම පිටුපස අදාල රැස්වීමේදී තමන් ඇතුළු විකල්ප කණ්ඩායමට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් දියත් වන බව තේරුම් ගත් වීරවංශ අමාත්‍යවරයා ඔත්තුව ලැබුණ විගසම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට කතා කොට ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට පසුදින පැවැත්වෙන රැස්වීමට පෙර සිය පාර්ශවයට අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට අවශ්‍ය බව දන්වා තිබේ.

ඒ අනුව ඉකුත් 19 දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල රැස්වීමට පැවැත්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට ගිය විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ප්‍රමුඛ විකල්ප කණ්ඩායමේ පක්ෂ නායක පිරිස අදාල රැස්වීමට සිය පාර්ශවය සහභාගී නොවන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ තම පාර්ශවය රැස්වීමට නොපැමිණෙන හේතුව දැන්ම දැනුම් දෙන්නේ ඔබතුමාට තිබෙන ගෞරවය මෙන්ම ඒ හේතුවෙන් ප්‍රශ්නයක් ඇති නොවිය යුතු බව හේතු කොටගෙන බවය.

නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කාර්යාලයකි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 April 2021 10:25