May 11, 2024

ජනපති පළාත් පාලන නියෝජිතයින් කැඳවයි! කළ යුතු දේ ගැන උපදෙස් දෙයි - රැස්වීම දියත උයනේ

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබේ.

අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ද අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයෝ හමුවට එක්ව සිටියහ.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවත් ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බවත් රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටින බවත් ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබෙව බවත් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා සිටියේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිවරයා පළාත් පාලන නියෝජිතයින්ට කීය.

කවුරු කුමක් පැවසුවද පරිසරය සුරැකීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටී. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසරය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගෙන තිබෙන බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

Rate this item
(0 votes)